Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට සැනසිලිදායක ජයක්
තුන්වැනි එක්දින තරගය

ශ්‍රී ලංකාවට සැනසිලිදායක ජයක්

editorial - 2025 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී අද (11 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 140 ක සැනසිලිදායක ජයග්‍රහණයක් අත්පත් කරගත්හ. තරගාවලියේ පළමු තරග දෙකම පරාජය වීම නිසා 2-1 ක් ලෙසින් තරගාවලිය පරාජය වූවත්, අද තරගයේදී ක්‍රීඩා කළ විලාසය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ කණස්සල්ල තරමක් දුරුවී තිබිණ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පිතිහරඹය තෝරාගත් ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ අර්ධ ශතක ලබාගත් හෙයින් සංචාරකයන්ට හොඳ ලකුණු සංඛ්‍යාවක් ලැබිණ. එහෙත් නවසීලන්තය පරාජයට තල්ලු කර දැම්මේ අසිත ප්‍රනාන්දුගේ පන්දු යැවීමයි.

අසිත ඕවර 5 කින් යුත් සිය පළමු පන්දු යැවීමේ වාරයේදී ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ නවසීලන්ත ලකුණු පුවරුව, ඕවර 7 ක් ඇතුළත, ලකුණු 21 කට කඩුලු 5 ක් දක්වා කඩා වැටීමයි. මහීෂ් තීක්‍ෂණ සහ ජනිත් ලියනගේ එක්ව ලකුණු 77 ක් ඇතුළත මයිකල් බ්‍රේස්වෙල් සහ මිචෙල් සෑන්ට්නර් දෙදෙනාත් දවාගැනීම හේතුවෙන් සත්කාරකයන්ගේ බලාපොරොත්තු සහමුලින්ම දියවී ගියේය. 

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සටනක් දුන්නේ මාක් චැප්මන් පමණි. පන්දු 81 කින් ලකුණු 81 ක් ලබාගත් චැප්මන්ගේ ඉනිම හතරේ පහර 10 කින් සහ හයේ පහරකින් සමන්විත වූ නමුත් තම පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමට එය ප්‍රමාණවත් නොවිණ. 

එක්දින තරගාවලියේ තරග තුනම තරගකාරීත්වයකින් තොර ඒවා විය. පළමු තරග දෙකේදීම ශ්‍රී ලංකා කණ්ඩායම සටනකින් තොරව යටත් විය. තුන්වැනි තරගයේදී නවසීලන්තය සටනකින් තොරව යටත් විය. 

අසිතගේ පන්දු යැවීම පන්දුව දෝලනය කිරීමේ සංදර්ශනයක් ලෙසින් සටහන් කළ නොහැක්කේ ඔහු වරින්වර නිසි එල්ලයකින් තොරව පන්දු යැවූ බැවිනි. එහෙත් රචින් රවීන්ද්‍රගේ පා ඉන්න සෙලවීමට ඔහු යැවූ පන්දුව කළාතුරෙකින් දැකගත හැකි එකක් විය. ඉන් අනතුරුව හත්වැනි ඕවරයේදී ග්ලෙන් පිලිප්ස් සහ ටොම් ලෙතම් දෙදෙනාම ලකුණු නොලබා දැවී යාමෙන් තරගයේ තීරණය මේ වගේ විය හැකියයි කල් වේලා ඇතිවම දැනගත හැකිවිය. 

අසිත එක් අන්තයකින් පිතිකරුවන් අසරණ කරද්දී මහීෂ් තීක්‍ෂණ සහ එෂාන් මාලිංග දෙදෙනාත් අනෙක් අන්තයෙන් පන්දු යවමින් නවසීලන්ත පිතිකරුවන් අන්ද මන්ද කරන්නට වූහ. තවමත් එක්දින තරග 3 කට පමණක් ක්‍රීඩා කර ඇත එෂාන් මාලිංග, සිය හොඳම පන්දු යැවීම (35/3) සටහන් කළේ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ඇතුළට රිංගා ගනිමිනි. 

පැතුම් නිස්සංකගේ පිතිහරඹය වෙනදාට වඩා වේගවත් විය. පන්දු 31 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ දකුණත් පිතිකරුවාගේ ලකුණු 66 න් 54 ක්ම පැමිණියේ හතරේ සහ හයේ පහර වලිනි. විශේෂයෙන්ම කෙටි පන්දු හමුවේ නිර්දය පහරදීමකට යොමු වූ නිස්සංකගේ ඉනිමට හතරේ පහර 6 ක් සහ හයේ පහර 5 ක් ඊට ඇතුළත් විය.


- 213


අදහස් (0)

ශ්‍රී ලංකාවට සැනසිලිදායක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.