Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සන්තුෂ් ශා. පීතර පිල ගලවාගනී

සන්තුෂ් ශා. පීතර පිල ගලවාගනී

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 85 වැනි ‘ශාන්තුවරයන්ගේ සංග්‍රාමය’ අද (02) විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද (02) පස්වරුවේ තරගය අවසන් වන විට ශාන්ත පීතර විදුහල් පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු හයක් දැවී ලකුණු 317 ක් රැස්කර සිටියේය.

සන්තුෂ් ගුණතිලක සහ කනිෂ්ක මධුවන්ත ලකුණු 106 කට කඩුලු හයක් දැවී තිබිදී හත්වැනි කඩුල්ලට පන්දු 240 කදී ලකුණු 211 ක නොබිඳුණු වාර්තාගත සම්බන්ධතාවක් පවත්වමින් ශාන්ත පීතර විදුහල අවදානමෙන් ගලවාගැනීමට සමත් වූහ. මෙම සම්බන්ධතාව ‘ශාන්තුවරයන්ගේ සංග්‍රාමය’ තරග ඉතිහාසයේ හත්වැනි කඩුල්ලේ ඉහළතම සම්බන්ධතාව ලෙස වාර්තා පොතට එකතු විය.

එම සම්බන්ධතාව නොවන්නට ශාන්ත ජෝශප් විදුහලට මෙම තරගය ජයග්‍රහණයෙන් අවසන් කිරීමේ අවස්ථාව තිබුණි. එහෙත් සන්තුෂ් ගුණතිලක අන්තයක් ආරක්‍ෂාකරගනිමින් සටන්කාමීව පන්දු 190 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 161 ක් රැස්කිරීම තරගයේ තීරණාත්මක සාධකය බවට පත්විය. සන්තුෂ් පළමු ඉනිමේදීත් ලකුණු 72 ක් ලබාගත්තේය.

කනිෂ්ක මධුවන්ත අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 138 කදී හතරේ පහර හතක් සමගින් නොදැවී ලකුණු 89 ක් රැස් කළේය.   

පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුලු තුනක් දැවී ලකුණු 189 ක් රැස්කර සිටි ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිමට ඕවර 60 අවසන් වන විට කඩුලු අටක් දැවී ලකුණු 286 ක් රැස්කර සිටියේය. ඒ අනුව ශාන්ත ජෝශප් විදුහලට පළමු ඉනිමේදී ලකුණු 67 ක වාසියක් ලැබුණි.

දිනෙත් ජයකොඩි (77) සහ දිලේෂ් පෙරේරා (62) සිව්වැනි කඩුල්ලට ලකුණු 115 ක සම්බන්ධතාවක් පවත්වමින් ශාන්ත ජෝශප් විදුහල ප්‍රබල තත්ත්වයකට රැගෙන ආහ. දිනෙත් ජයකොඩි අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 110 කදී හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 77 ක් රැස්කිරීමට සමත් විය.

දිලේෂ් පෙරේරා පන්දු 80 කදී හතරේ පහර හයක් සහ හයේ පහරක් සමගින් ලකුණු 62 ක් රැස් කළේය.
ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක තරගයේ වීරයා සහ දක්‍ෂතම පිතිකරු ලෙස ද, කනිෂ්ක මධුවන්ත දක්‍ෂතම තුන් ඉදිරියව් ක්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබූහ. ශාන්ත ජෝශප් විදුහලේ අෂේන් ඩැනියල් දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, ෂැරන් ෆොන්සේකා දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ද, සම්මාන ලැබූහ.


ශාන්ත පීතර විදුහල පළමු ඉනිම ඕවර 60 කදී සියලු දෙනා දැවී 219
(සන්තුෂ් ගුණතිලක 72, දිනිත් අංජුල 41, රන්මිත් ජයසේන 21, නිපුනක ෆොන්සේකා 21, වනුජ සහන් 26, අෂේන් ඩැනියල් 58/3, ලක්‍ෂාන් ගමගේ 38/2, ශාලින්ද සෙනෙවිරත්න 43/2)

ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම ඕවර 60 කදී කඩුලු 8 ට 286
(ජොහෑන් ද සිල්වා 45, ෂැරන් ෆොන්සේකා 37, දිනෙත් ජයකොඩි 77, දිලේෂ් පෙරේරා 62, සචින්ත රවිඳු 22, දුනිත් වෙල්ලාලගේ 19, තාරීක් ශබූර් 51/2, කනිෂ්ක මධුවන්ත 51/2, රන්මිත් ජයසේන 33/2)

ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම ඕවර 79 කදී කඩුලු 6 ට 317
(සන්තුෂ් ගුණතිලක නොදැවී 161, ශනෝන් ප්‍රනාන්දු 25, කනිෂ්ක මධුවන්ත නොදැවී 89, අෂේන් ඩැනියල් 65/2)

 

ඡායාරූප - ප්‍රියන්ත වික්‍රමාරච්චි


අදහස් (0)

සන්තුෂ් ශා. පීතර පිල ගලවාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.