Last Update  :  2025-01-15 19:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සන්නාම තානාපති මයිකල් ක්ලාක්
එල්.පී.එල්. - 2024

සන්නාම තානාපති මයිකල් ක්ලාක්

editorial - 2024 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන දිනාගත් ඕස්ට්‍රේලියානු නායකයන් කිහිප දෙනාගෙන් අයකු වන මයිකල් ක්ලාක්, 2024 ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙසින් පත්කර තිබේ. දශකයකට පමණ ඉහතදී ක්‍රිකට් ක්‍රීඩාවේ අතිශය ජනප්‍රිය චරිතයක් වූ මයිකල් ක්ලාක්, අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ අත්දැකීම් සම්භාරයක් හිමි, සුවිශේෂී ක්‍රීඩකයෙකි. දකුණත් පිතිකරුවෙකු වන ඔහු අලංකාර පිතිහරඹයට නම් දරා සිටි අයෙකි. 

ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර ආකෘති දෙකෙහිම ඕස්ට්‍රේලියාව ජාතික කණ්ඩායමට නායකත්වය දුන් මයිකල් ක්ලාක්, 2015 දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක්දින ක්‍රිකට් ලෝක කුසලාන කරා කැඳවාගෙන ගියේය. 

“ශ්‍රී ලංකාව මා ක්‍රීඩා කිරීමට ප්‍රිය කරන රටක්. ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට මම නොඉවසිල්ලෙන් සිටනවා. දැන් මට එල්.පී.එල්. තරගාවලියේ තානාපතිවරයෙකු වීමටත් අවස්ථාව ලැබී තිබෙනවා” 

“තරුණ ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් වගේම ඉතාමත් දක්‍ෂ විදේශීය ක්‍රීඩකයින් ද ක්‍රීඩා කරන මෙම තරඟාවලිය දිගින් දිගටම සාර්ථක වනු ඇති බවට සැකයක් නෑ”  යයි මයිකල් ක්ලාක් පැවසූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයකින් කියැවෙයි. 

එල්.පී.එල්. තරගාවලියේ සන්නාම තානාපතිවරයා වශයෙන්, මයිකල් ක්ලාස් සාදරයෙන් පිළිගනු ලබන බව තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවීමේ අයිතිවාසිකම් හිමි අයි.පී.ජී. සමාගමේ සභාපති අනිල් මොහාන් මහතා කියයි. 

“මයිකල් ක්ලාක්ගේ නම ඇසූ පමණින්, ක්‍රීඩකයින් මෙන්ම රසිකයින් ද ප්‍රබෝධමත් වෙනවා. ඒ නිසා මෙම තරග වාරය සැබවින්ම අමතක නොවන එකක් බවට පත් කිරීමට ඔහුගේ දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා” යයි ද අනිල් මොහාන් මහතා පැවසීය. 

“2024 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස මයිකල් ක්ලාක් වැනි ක්‍රිකට් පෞරුෂයක් හිමි අයකු පත්වීම ඉතා විශිෂ්ට දෙයක්”

“ඉහළම තරගකාරීත්වය, උද්යෝගය සහ විනෝදාස්වාදය ලබා දීමෙන් ලෝකයේ එවැනි ස්වභාවයේ තරගාවලි අතර වැඩිම ඉල්ලුමක් ඇති තරගාවලියක් ලෙසින් එල්.පී.එල්. තරගාවලිය ඉදිරියට ගමන් කරනවා. එබැවින් මයිකල් ක්ලාක්ගේ ප්‍රවේශය අපගේ ඉලක්කය කරා යන ගමන තවත් ශක්තිමත් කරන බව මට විශ්වාසයි” යයි එල්.පී.එල්. තරඟාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසීය. 

කණ්ඩායම් පහක් තරග වදින එල්.පී.එල්. තරගාවලිය ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ට උද්වේගකර අවස්ථා නිර්මාණය කිරීමටත් ක්‍රිකට් පිටියේදී උසස් තත්ත්වයේ විනෝදාස්වාදයක් ලබා ගැනීමටත් අවස්ථාව සලසන්නකි. ශ්‍රී ලංකාවේ සිටින ඉහළම පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් ද සමගින් තරගාවලියට එක්ව සිටින විදේශීය ක්‍රීඩකයන් සංඛ්‍යාව 30 කි. 

එල්.පී.එල්. තරගාවලිය ජූලි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වේ.

- 213


අදහස් (0)

සන්නාම තානාපති මයිකල් ක්ලාක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.