Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සඳරු තර්ස්ටන් විද්‍යලයට ජය ගෙනෙයි

සඳරු තර්ස්ටන් විද්‍යලයට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති 56 වැනි ‘සහෝදරයන්ගේ හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය කඩුලු 10 කින් ජයගැනීමට තර්ස්ටන් විද්‍යලය අද (23 වැනිදා) සමත්විය.

දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති ‘බ්ලැක්හැම් විජේර්ධන’ අනුස්මරණ කුසලාන මහ ක්‍රිකට් තරග 56 කදී තර්ස්ටන් විද්‍යාලය තරගය 6 ක් ද ඉසිපතන විද්‍යාලය තරග 4 ක් ද ජයගෙන ඇති අතර තරග 46 ක් විසඳුමකින් තොරව අවසන්වී ඇත.

තර්ස්ටන් විද්‍යාලය වසර 27 කට පසුව වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජයගැනීමට සමත්වීම කැපී පෙනෙන සිද්ධියක් වන අතර ඉසිපතන විද්‍යාලය 1999 වසරේදී අවසන් වරට වාර්ෂික මහ ක්‍රිකට් තරගයක් ජයගෙන ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 38 ක ඉලක්කයක් හඹාගිය තර්ස්ටන් විද්‍යාලය කිසිවකු නොදැවී පහසුවෙන්ම ඉලක්කය ජයගැනීමට සමත්විය. ජයවිහාන් මහවිතාන නොදැවී ලකුණු 21 ක් සහ යොහාන් ලියනගේ නොදැවී ලකුණු 13 ක් රැස්කිරීමට සමත්වූහ.

ලකුණු 107 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ ඉසිපතන විද්‍යාලයට සඳරු ඩයස්ගේ පන්දු යැවීම හමුවේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 144 ක් පමණි.

නොදැවී ලකුණු 49 ක් රැස්කළ රවිඳු රත්නායක ඉසිපතන විද්‍යාලීය දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර තෙවිඳු දික්වැල්ල ලකුණු 39 ක් රැස්කළේය.

නායකත්වයේ වගකීම මැනවින් ඉටුකරමින් ලකුණු 54 කට කඩුලු 6 ක් දවාගත් සඳරු ඩයස් ලකුණු 95 කට කඩුලු 10 ක් දවාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

ඊයේ (22 වැනිදා) දිනය අවසන් වනවිට කඩුලු 5 කට ලකුණු 154 ක් රැස්කර සිටි තර්ස්ටන් විද්‍යාලය අද දිනයේදී සියලුදෙනා දැවී ලකුණු 276 ක් රැස්කිරීමට සමත්විය.

දක්ෂ පිතිහඹයක නිරතවූ රමේෂ් සිල්වා (නොදැවී 109) ශතකයක් සහ අංජු කරුණානායක (70) අර්ධ ශතකයක් ලබාගනිමින් තර්ස්ටන් විද්‍යාලීය ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ. පන්දු 110 කට මුහුණදුන් රමේෂ් සිල්වාගේ ඉනිම හතරේ පහර 14 කින් අලංකාර විය.

රවිඳු රත්නායක කඩුලු 3 ක් ද දිනත් දිසානායක සහ තුවාන් අමත් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ඉසිපතන විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 57.1 කදී සියලුදෙනා දැවී 169
(තෙවිඳු දික්වැල්ල 40, සවිඳු උත්සර 30, ඉසුරු සඳමාල් 26, රවිඳු රත්නායක 20, බවන්ත ජයසිංහ 37/5, සඳරු ඩයස් 41/4)

තර්ස්ටන් විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 58.4 කදි සියලුදෙනා දැවී 276
(රමේෂ් සිල්වා නොදැවී 109, අංජු කරුණානායක 70, රවිඳු රත්නායක 34/3, දිනත් දිසානායක 37/2, තුවාන් අමත් 43/2)

ඉසිපතන විද්‍යාලීය දෙවැනි ඉනිම - ඕවර 50.2 කදී සියලුදෙනා දැවී 144
(රවිඳු රත්නායක නොදැවී 49, තෙවිඳු දික්වැල්ල 39, මංදීල ගුණසේකර 23, සඳරු ඩයස් 54/6, අයේෂ් හර්ෂණ 39/2)

තර්ස්ටන් විද්‍යාලීය දෙවැනි ඉනිම - ඕවර 7.5 කදි සියලුදෙනා දැවී 38
(ජයවිහාන් මහවිතාන නොදැවී 21)

 


අදහස් (0)

සඳරු තර්ස්ටන් විද්‍යලයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.