Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සමාරම්භක තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
එල්.පී.එල් - 2023

සමාරම්භක තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට

editorial - 2023 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා ප්‍රිමියර් ලීග් (2023) තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කලම්බූ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ‍යේදී අද (30 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය කලම්බු කණ්ඩායමට ඕවර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152 ක් පමණි.

බාබර් අසාම් ලකුණු 7 කටත්, පැතුම් නිස්සංක එක් ලකුණකටත් දැවී ගිය නමුත් සිය ආක්‍රමණශීලී පිතිහරඹයේ කිසිදු වෙනසක් නොකළ කලම්බු නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග වේගවත් ලකුණු 58 ක් රැස්කළේය. එහෙත් ඩිල්ෂාන් මධුෂංකගේ පන්දුවක් හමුවේ ගැසූ පහරකින් ඉහළින් ඇදී ගිය පන්දුව තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි විජයකාන්ත් වියස්කාන්ත්ගේ දෑත් අතර සිරවීමත් සමග දික්වැල්ලගේ ඉනිම නිමාවිය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ හාඩස් විලියන් ලකුණු 31 කට කඩුලු 3 ක් බිඳහෙළු අතර කලම්බු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 17 කට කඩුලු 2 ක්ද, ඩිල්ෂාන් මධුෂංක ලකුණු 18 කට කඩුලු 2 ක්ද දවාගත්හ. ලකුණු 87 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 15 කින් ලකුණු 23 ක් රැස්කිරීමට චාමික කරුණාරත්න සමත් වුවද, දුවද්දී දැවී යෑමකට හසුවීම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 173 ක් ලබාගත් අතර ජැෆ්නා ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ තව්හිත් රිඩෝයි පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 54 ක් රැස්කළේය. පන්දු 16 කදී වාර්ත වූ ප්‍රියමාල් පෙරේරාගේ (22) ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක්ද, පන්දු 23 කදී වාර්තා වූ දුනිත් වෙල්ලාලගේගේ (නොදැවී 25) ඉනිමට හතරේ පහර 2 ක්ද අන්තර්ගත විය.

පන්දු 11 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ‍ලකුණු 21 ක් රැස්කරමින් ජැෆ්නා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදීමට රහ්මනුල්ලා ගුර්බාස් උත්සාහ කළද, වේගය අඩාල කරමින් නසීම් ෂා යැවූ පන්දුවක් හමුවේ මිඩ් ඕන් කළාපයේ සිට ලෝන් ඕන් කළාපය දක්වා දිවගොස් රමේෂ් මෙන්ඩිස් රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙන් ගුර්බාස්ට ආපසු ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවිය. ‍

සෙසු ආරම්භක පිතිකරුවා වූ නිෂාන් මධුෂ්ක සහ චරිත් අසලංකද ලකුණු 12 බැගින් ලබා සිටියදී දැවී ගියද, ඕවර 10 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 73 ක් ලබාගැනීමට ජැෆ්නා කණ්ඩායම සමත්ව සිටියේය. ඉන් අනතුරුව ලකුණු ලබාගැනීමේ වේගය ක්‍රම ක්‍රමයෙන් වැඩි කළ තවුහිද් රිඩෝයි සහ ප්‍රියමාල් පෙරේරා සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 41 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

මතීෂ පතිරණගේ පන්දු හමුවේ පිට පිටම හතරේ පහර 2 ක් එල්ල කිරීමෙන් අනතුරුව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අත‍ට උඩ පන්දුවක් දෙමින් ප්‍රියමාල් දැවී ගියේය. ඉන් අනතුරුව රිඩෝයි සමග එක්වූ දුනිත් වෙල්ලාලගේ පස්වැනි කඩුල්ල සඳහා පන්දු 35 කදී ලකුණු 50 ක් එක්කරමින් ජැෆ්නා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. නායක තිසර පෙරේරා පන්දු 7 කින් නොදැවී ලකුණු 14 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.


අදහස් (0)

සමාරම්භක තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.