Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සල්පිටි රයිගම් කෝරළ හටන මොරටුවේදී

සල්පිටි රයිගම් කෝරළ හටන මොරටුවේදී

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර වාර්ෂික මහ ක්‍රිකට් තරගය වන ‘සල්පිටි රයිගම් කෝරළ සටන’ මේ මස 22 සහ 23 දෙදින මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය 18 වැනි වරට පැවැත්වෙන්නකි.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය මත ඇරඹී පළමු මධ්‍ය විද්‍යාල 54 ට අයත් මෙම පාසල් දෙක අතර පැවැත්වෙන වාර්ෂික මහ ක්‍රිකට් තරගය මධ්‍ය විද්‍යාල දෙකක් අතර පැවැත්වෙන පළමු සහ එකම මහ ක්‍රිකට් තරගයද වන්නේය.

මෙවර පැවැත්වෙන 18 වැනි සල්පිටි රයිගම් කෝරළ සංග්‍රාමයේදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සිවුවැනි වසරේ වර්ණලාභියෙකු වන මල්ෂාන් ගුණතිලකට හිමිවී තිබේ. හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පස්වැනි වසරේ වර්ණලාභියෙකු වන තිළිණ තරින්දට හිමිවී ඇත.

චමෝද් සඳරු

දෙවිදුහල් අතර මේ දක්වා වාර්ෂික මහ ක්‍රිකට් තරග 17 ක් පවත්වා ඇති අතර පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය තරග 3 ක් ජයගෙන තිබේ. හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට මේ දක්වා කිසිදු තරගයක් ජයගැනීමට අවස්ථාව හිමිනොවීය. විවිධ හේතූන් මත 2012 වසරේදී සල්පිටි රයිගම් කෝරළ සටන නොපැවැත්විණ.

තිළිණ දසුන්ගේ නායකත්වය යටතේ 2005 දීත් චානක රුවන්සිරිගේ නායකත්වය යටතේ 2009 දීත් ප්‍රමුදිත පියුමාල්ගේ නායකත්වය යටතේ 2010 වසරේදීත් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජයගැනීමට සමත්ව තිබේ.

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය මෙම තරග වාරයේ තරග 15 කට ක්‍රීඩාකර පානදුර රාජකීය විද්‍යාලය, පාදුක්ක සිරි පියරතන විද්‍යාලය, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයන්ට එරෙහිව පූර්ණ ජයග්‍රහණ වාර්තා කර තිබේ. ඊට අමතරව පළමු ඉනිමේ ජයග්‍රහණ 7 ක් ද හිමිකරගෙන ඇති පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිමේ පරාජයකටද හිමිකම් කියයි.

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘සී’ කාණ්ඩය යටතේ තරග කරමින් පූර්ණ ජයග්‍රහණ 4 ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 3 ක් ලබාගත් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වූ කණ්ඩායමද වෙයි.

සිවුවන වසරේ වර්ණලාභියෙකු වන උපනායක චමෝද් සඳරු ලකුණු 1019 ක් රැස්කරමින් මෙවර තරග වාරයේදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා මෙන්ම අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ පළමුවෙන්ම ලකුණු 1000 සම්පූර්ණ කළ පිතිකරුවාද විය.

දකුණතින් පිත්ත හසුරුවන චමෝද් ලකුණු 1000 සම්පූර්ණ කිරීමේදී ශතක 4 ක් සහ අර්ධ ශතක 4 ක් ඊට ඇතුළත් විය. මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට (101 සහ නොදැවී 114) එරෙහිව ඉනිම දෙකෙහිදීම ශතක ලබාගත් චමෝද් අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය (104) සහ කැළණිය ධර්මාලෝක විද්‍යාලයන්ට (102) එරෙහිවද ශතක ලබා ගත්තේය.

පසුගිය වසරේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය වයස 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරූ හයවැනි වසරේ වර්ණලාභියකුවන හේෂාන් මධුෂංක මෙවර තරගාවලියේදීද තුන් ඉරියව් දස්කම් දක්වමින් සිය පාසල් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට දායකවිය. දකුණත් පිතිකරුවකු වන හේෂාන් තරග 15 කදී ශතක 4 ක් සහ අර්ධ ශතක 4 ක් සමගින් ලකුණු 750 ක් රැස්කර ඇති අතර වමතින් පාදග පන්දු යවන්නකුද වන ඔහු කඩුලු 85 ක් ද දවාගැනීමට සමත්විය. මෙවර දෙවැනි කොටසේ තරගාවලියේදී දැනට වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා වන හේෂාන් කඩුලු 5 බැගින් අවස්ථා 11 කදී සහ කඩුලු 10 බැගින් අවස්ථා 2 කදී ලබාගෙන ඇත.

නායක මල්ෂාන් ගුණතිලක ලකුණු 576 ක් සහ කඩුලු 28 ක්, රුචිර අධිකාරී ලකුණු 684 ක් සහ කඩුලු 20 ක්, ජනිත් දිල්ශාන් ලකුණු 511 ක්, උෂාන් දීමන්ත කඩුලු 35 ක්, සඳුන් සත්සර කඩුලු 33 ක් සහ සසංක ලක්ෂාන් කඩුලු 31 ක් දවාගනිමින් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ ක්‍රීඩකයින් අතර ඉහළින්ම සිටින ක්‍රීඩකයෝ වෙති.

හේෂාන් මදුසංක

‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩය යටතේ තරග කරන තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය මෙම තරග වාරයේ තරග 13 කට ක්‍රීඩාකරමින් කොළඹ අශෝක විද්‍යාලයට එරෙහිව පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කර ඇත. ඊට අමතරව පළමු ඉනිමේ ජයග්‍රහණ 7 ක් හිමිකරගෙන ඇති හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිමේ පරාජයන් 3 කටද හිමිකම් කියයි. පූර්ණ පරාජයකටද හිමිකම් කියනු ලබන තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය එක් තරගයක් විසදුමකින් තොරව අවසන් කරගෙන ඇත.

එරංග ජයකොඩි ලකුණු 647 ක් රැස්කරමින් මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේදී හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වී ඇත. නායක තිළිණ තරින්ද ලකුණු 464 ක් සහ කඩුලු 48 ක් දවාගනිමින් තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත්විය.

සෙනෙත් විංවිනූ ලකුණු 345 ක් සහ කඩුලු 28 ක් ද ශෂිඳු ජයනෙත් ලකුණු 458 ක්, උමේෂ් ප්‍රසාද් ලකුණු 396 ක්, සසංක අදීප ලකුණු 350 ක්, චමිඳු රංවිනු ලකුණු 353 ක් සහ තිසර සචින්තන කඩුලු 20 ක් ද දවාගනිමින් මෙවර පාසල් තරගාවලියේදී හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයෝ වූහ.

දෙවිදුහල් අතර වාර්ෂික සීමිත ඕවර තරග 4 ක් මේ දක්වා පවත්වා ඇති අතර තරග 3 ක  ජයග්‍රහණය හිමිකර ගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සමත්වී ඇති අතර පසුගිය වසරේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සිදුවිය.

දෙවිදුහල් අතර වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මේ මස 24 වැනිදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම:
මල්ෂාන් ගුණතිලක (නායක), චමෝද් සඳරු (උපනායක), හේෂාන් මදුශංක, රුචිර අධිකාරී, ජනිත් දිල්ශාන්, සසංක ලක්ෂාන්, සඳුන් සත්සර, උෂාන් දීමන්ත, ආකාෂ් අකලංක, අශේන් රොඞ්රිගූ, දනිඳු හිරුමාල්, ලක්‍ෂිත කුලරත්න, හේසර දිල්කිත්, ජයංග මදුශාන්, ලෂාන් වගීෂ, සංදේශ් ප්‍රවීන්, චනුප ජනුල්, මොවින් පේසර, රමෝද්‍ය ශ්‍රී රවිෂ්ක, මෙනුර මුත්සද
විදුහල්පති - දර්ශණ උඩවත්තගේ මහතා, ක්‍රීඩාභාර ආචාර්ය - අරුණ ලියනගේ මහතා, ප්‍රධාන
පුහුණුකරු - එරංග ගුණරත්න මහතා, සහය පුහුණුකරුවෝ - අමිල් සේනාධීර, හර්ෂණ ප්‍රමෝද් සහ  සුදේෂ් හර්ෂ යන මහත්වරු

හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම:
තිළිණ තරින්ද (නායක), සසිඳු ජනෙත් (උපනායක), චමිඳු රන්විනු, සෙනෙත් වින්විනු, තිසර සචින්තන, එරංග ජයකොඩි, සසංක අදීප, ගිහාන් මධුභාෂ්, උමේෂ් ප්‍රසාද්, මලිත් කෞෂල්‍ය, බිනුප සන්දිනු, සහන් ගයන්ත, රොමේෂ් ධනුෂ්ක, රවීන් රංසිළු,
විදුහල්පතිනිය - කේ.කේ.පී.එම්.ජයතිලක මහත්මිය, ක්‍රීඩාභාර ආචාර්ය සහ ප්‍රධාන පුහුණුකරු - කමල් සුජීව මහතා, සහය පුහුණුරුවෝ - ගාවින්ද බස්නායක සහ ගීෂාන් ගිම්හාන යන මහත්වරු

 


අදහස් (0)

සල්පිටි රයිගම් කෝරළ හටන මොරටුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.