Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ විධායක සභාව ඇමති පිහිට පතයි

සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ විධායක සභාව ඇමති පිහිට පතයි

editorial - 2025 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ ජාතික ක්‍රීඩා විද්‍යාතනයේදී සිකුරාදා (7) පැවැත්වූ බව කියන ශ්‍රී ලංකා සැහැල්ලු‍ පන්දු ක්‍රිකට් සම්මේලනයේ නිලවරණය (2025 - 27) අවලංගු කර එය විධිමත් ලෙස කැඳවීමට සුදුසු වටපිටාවක් සකස් කරන ලෙස ඉල්ලා ඒ වන විට එහි විධායක සභාවේ කටයුතු කරමින් සිටි නිලධාරීන් 17 දෙනකු ක්‍රිඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාට ලිපියක් යොමු කර තිබේ.

ඒ පිළිබදව ඔවුන්ගේ චෝදනාව වන්නේ මෙම සිදුවීම වාර්තා වන විට සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි තිසර ගුණසිංහ මහතා තනිව තීරණ ගනිමින් කැඳවූ සිකුරාදා නිලවරණය (2025 - 27) ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණය කැඳවීමේදී අනුගමනය කළ යුතු රටේ පොදු රෙගුලාසි මාලාව හෙවත් ක්‍රීඩා පනතෙන් මුළුමනින්ම බැහැරව කටයුතු කර ඇති බවයි.

එයින් සැහැල්ලු‍ පන්දු ක්‍රිකට් සම්මේලනයේ ව්‍යවස්ථාවද කඩ කර ඇතැයි පෙන්වා දෙන ඔවුන් නිලවරණය කැඳවීමේ ප්‍රධානතම සාධකයක් වන නිලවරණ කමිටුව පත් කර ගැනීමකින් තොරවම නිලවරණය කැඳවීමෙන් එහි නිත්‍යානුකූලහාවය අභියෝගයට ලක්වී ඇතැයි එම ලිපියෙන් පෙන්වාදී තිබේ.

 ශ්‍රී ලංකා සැහැල්ලු‍ පන්දු ක්‍රිකට් සම්මේලනයේ අවසන් වරට වසර 2022 මාර්තු මාසයේදී පැවැති නිලවරණයෙන් පත්වූ විධායක සභාවේ සභාපති තිසර ගුණසිංහ හා එහි ප්‍රධාන ලේකම් කර්නල් එච්. ඩී. එල්. රවීන්ද්‍ර යන මහත්වරුන් අතර පසුව පැන නැගුණු බව කියන මත ගැටුම් පසුව සම්මේලනයේ පසමිතුරු පාර්ශ්ව දෙකක් පැන නැගීමට හේතුවූ බව පැවසේ.

එයින් පසුව මේ දක්වා සම්මේලනයේ පරිපාලන ආරවුල් උත්සන්න වෙමින් පවතින අතර පසුගිය ජනවාරි 17 වැනිදා ශ්‍රී ලංකා සැහැල්ලු‍ පන්දු සම්මේලනයේ ශීර්ෂ පාඨයෙන් යුතුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත විධායක සභාවේ සාමාජිකයන් 20 දෙනෙකුගේ අත්සනින් නිකුත් කළ දැනුම්දීමේ ලිපියක දැක්වුණේ සම්මේලනයේ නව ලේකම්වරයා ලෙස මීළග නිලවරණය කැදවෙන තෙක් කුමාර කුමාරනායක මහතා පත් කර ඇති බවයි.

 ඊට සභාපති තිසර ගුණසිංහ හා එතෙක් ලේකම් ධූරයේ කටයුතු කළ කර්නල් රවීන්ද්‍ර යන මහත්වරුන් හැරෙන්නට විධායක සභාවේ සෙසු නිලධාරීන් එසේ අත්සන් තබා තිබුණි.මීළග නිලවරණය කැදවෙන තුරු ස්වාධීන පුද්ගලයකු ලේකම් ධූරයේ කටයුතු කිරීමේ අවශ්‍යතාව ගැන අවධානය යොමු කරමින් ඔවුන් එම ලිපියට අත්සන් කළ බව ඒ වන විට උප සභාපති ධූරයක කටයුතු කළ දයා හේමන්ත සිල්වා මහතා ලංකාදීපය කළ විමසුමකදී පැවැසීය.

 ඔහු පැවැසුවේ වසර 30 කට වැඩි කාලයක් තිස්සේ සැහැල්ලු‍ පන්දු ක්‍රිකට් සම්මේලනයේ කටයුතු කරන තමන් මේ අන්දමේ එහි විධායක සභාව නොසලකා හරිමින් පැවැති නිලවරණයක අත්දැකීම් මින් පෙර විද නැති බවයි.ඒ සම්බන්ධයෙන් ගත හැකි සියලු නෛතික ක්‍රියාමාර්ග වලට තමන් ඇතුළු විධායක සභාව යොමු වන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

 සැහැල්ලු‍ පන්දු සම්මේලනයේ උද්ගතව පැවැති මෙම පරිපාලන අර්බුදය හමුවේ ආසන්නයේදීම ඇතිවූ සිදුවීමක් වූයේ වත්මන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා වැඩ බාර ගැනිමෙන් පසුව කැදවූ ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ගේ හමුවට පැමිණ සිටි එම සම්මේලනයේ නිලධාරීන් සභාවෙන් පිටමං කිරීමයි.

මෙසේ සැහැල්ලු‍ පන්දු සම්මේලනයේ පසුගිය කාලය පුරා නිලධාරීන්ගේ පරිපාලන ආරවුල් පැන නැගුණත් 2024 ට සූදානම් කර තිබූ ප්‍රධානතම සැහැල්ලු‍ පන්දු තරග මාලා කීපයක්ම පවත්වා අවසන් කළ බව එහි ප්‍රධාන විධායක නිලධාරී රණදේව කුමාරනායක මහතා පවසයි.


අදහස් (0)

සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ විධායක සභාව ඇමති පිහිට පතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.