Last Update  :  2024-11-22 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සී.සී.සී. - ඒස් කැපිටල් අවසන් සටන හෙට
අන්තර් සමාජ පළමු පෙළ

සී.සී.සී. - ඒස් කැපිටල් අවසන් සටන හෙට

editorial - 2024 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (11 වැනිදා) පෙරවරු 9.45 සිට කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී.) සහ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී මූවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 98 ක ජයක් වාර්තා කරමින් ඒස් කැපිටල් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. සී.සී.සී. කණ්ඩායම ඊට සුදුසුකම් ලැබුවේ කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී සිංහල ක්‍රීඩා සමාජයට (එස්.එස්.සී.) එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කරමිනි. 

තරගාවලියේ මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ ඒස් කැපිටල් කණ්ඩායම සහභාගි වූ තරග 8 න් 6 ක් ජයගෙන ලකුණු 13 ක් ලබා එම කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට පිවිසියේය. එහිදී ඒස් කැපිටල් කණ්ඩායම පරාජයට පත් වූයේ එන්.සී.සී. කණ්ඩායම හමුවේ පමණි. ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ සෙසු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. 

මූලික වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ සී.සී.සී. කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසියේ සහභාගි වූ තරග 8 න් 6 ක් ජයගෙන ලකුණු 14 කට හිමිකම් කියමිනි. ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ සෙසු තරග 2 වර්ෂාව හේතුවෙන් අතහැර දැමිණ. එබැවින් මෙවර තරගාවලියේ මූලික වටය අවසානයේ අපරාජිතව සිටි එකම කණ්ඩායම වූයේද සී.සී.සී. කණ්ඩායමය. 

පළමු අවසන් පූර්ව තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 223 ක ඉලක්කයක් හඹාගිය මූවර්ස් කණ්ඩායමට ඕවර 25.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ සිතුම් දිසානායක ලකුණු 40 කට කඩුලු 4 ක් දවාගත් අතර මූවර්ස් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නිම්සර අතරගල්ල ලකුණු 33 කට කඩුලු 3 ක් බිඳහෙළීය. 

දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 240 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී. ක්‍රීඩකයෝ ඕවර 35.3 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක, පන්දු 117 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 15 ක් සමග වේගවත් ලකුණු 157 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

තවමත් 21 වැනි වියේ පසුවන පවන්, මෙම තරගාවලියේදී පිට පිටම ලබාගත් තෙවැනි ශතකය මෙය වූ අතර මින් පෙර කොල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 124 ක් සහ නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 100 ක් ලබාගැනීමටද ඔහු සමත් විය. මේ වන විට තරග 9 කදී ලකුණු 489 ක් ලබා තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින්නේද පවන්ය. 


අදහස් (1)

සී.සී.සී. - ඒස් කැපිටල් අවසන් සටන හෙට
  • Sk Sunday, 11 August 2024 07:09 AM

    පවන් වැනි අයෙකුට lpl වල තැනක් නෑ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.