Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හර්ෂිතා - නිලක්ෂි ශ්‍රී ලංකාවට ජය ගෙනෙති
කාන්තා වි-20 ලෝක කුසලාන

හර්ෂිතා - නිලක්ෂි ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

editorial - 2023 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හර්ෂිතා මාධවී (නොදැවී 69) සහ නිලක්ෂි ද සිල්වා (නොදැවී 41) එක්ව ගොඩනැගූ විශිෂ්ඨ සම්බන්ධතාව හමුවේ විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව දකුණු අප්‍රිකා‍වේ කේප් ටවුන්හිදී ඊයේ (12 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.  

ජයග්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 35 ක් ඇතුළත බිඳ වැටුණි. එහෙත් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කදී ලකුණු 104 ක වේගවත් නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ හර්ෂිතා සහ නිලක්ෂි පන්දු 10 ක් ඉතිරිව තිබියදීම සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

එහිදී පන්දු 50 කට මුහුණදුන් ආරම්භක පිතිකාරිණී හර්ෂිතා හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග සිය තෙවැනි විස්සයි-20 අර්ධ ශතකය ලබා ගත්තාය. පන්දු 38 කදී වාර්තා වූ නිලක්ෂිගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය. නායිකා චමරි අතපත්තු පන්දු 17 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 15 ක් ලබා සිටියදී දැවී ගියාය.

නායිකාවද ඇතුළත්ව මුල් පිතිකාරිණියන් තිදෙනෙක්ම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගොස් තිබියදී, ඉතා දක්ෂ ලෙස බංග්ලාදේශ පන්දු යවන්නියන් මෙල්ල කළ හර්ෂිතා සහ නිලක්ෂි කිසිදු හදිසියකින් තොරවම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. මෙම ජයග්‍රහණයත් සමග පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිතිකාරිණියන්ට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 126 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඕෂධී රණසිංහ ලකුණු 23 කට කඩුලු 2 ක් දවාගත් අතර බංග්ලාදේශ පිතිකාරීණියන් පීඩනයට පත්කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් චමරි අතපත්තු ලකුණු 19 කට කඩුලු 2 ක් බිඳහෙළුවාය.

බංග්ලාදේශ කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 126
(ශමීමා සුල්තාන් 20,‍ සෝභනා මොටෙරි 29, නිගාර් සුල්තානා 28, ඕෂධී රණසිංහ 23/3, චමරි අතපත්තු 19/2)

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 18.2 කදී කඩුලු 3 ක් දැවී 129
(හර්ෂිතා මාධවී නොදැවී 69, චමරි අතපත්තු 15, නිලක්ෂි ද සිල්වා නොදැවී 41, මරූ‍ෆා අක්තර් 23/3)

ඡායාරූප - අන්තර් ජාතික ක්‍රිකට් සභාව අනුග්‍රහයෙනි

-036


අදහස් (0)

හර්ෂිතා - නිලක්ෂි ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.