Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හැරිස්ට අලුත් සගයෙක්

හැරිස්ට අලුත් සගයෙක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිස්බේන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු මාකස් හැරිස්ගේ සහයකයා ලෙස ජෝ බර්න්ස් හෝ මැතිව් රැන්ෂෝ කටයුතු කිරීමට නිමිතව ඇතැයි වාර්තා වේ. ඒ අනුව සිය 5 වැනි ටෙස්ට් තරගය දක්වා පැමිණි ගමනේදී සහයක ආරම්භක පිතිකරුවන් තිදෙනකු සමග ක්‍රීඩා කිරීමේ අවස්ථාව හැරිස්ට හිමිව තිබේ.

ඉකුත් දෙසැම්බර් මාසයේදී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් මාකස් හැරිස් සිය මංගල ටෙස්ට් තරගාවලියේ තරග 4 කදී ලකුණු 258 ක් රැස්කළේ 36.85 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එහිදී ශතකයක් කරා යෑමට නොහැකි වුවත්, අර්ධ ශතක 2 ක් ලබාගැනීමට මාකස් සමත් විය.   

ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ පළමු තරග තුනේදී ඒරන් ෆින්ච් සමග ඕස්ට්‍රේලියානු ඉනිම ඇරඹූ මාකස්ට සිවුවැනි තරගයේදී උස්මන් කවාජා සමග ඉනිම ඇරඹීමට සිදුවිය. ඊට හේතුව වූයේ මුල් තරග තුනේදී අසාර්ථක වීම නිසා සිවුවැනි තරගයේදී ෆින්ච්ට කණ්ඩායමේ ස්ථානයක් අහිමි වීමයි.

සිවුවැනි තරගයේ පළමු ඉනිමේදී කවාජා (27) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මාකස්, එහිදී සිය ඉහළම පෞද්ගලික ටෙස්ට් ලකුණු සංඛ්‍යාවද (79) රැස්කළේය. එම තරගයේ අවසන් දිනය වැස්සට සේදීයන විට දෙවැනි ඉනිමේ පළමු කඩුල්ලේ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 6 ක්ව තිබිණ.

ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු අතර සාර්ථක සම්බන්ධතා ගොඩනැගූ බොහෝ ක්‍රීඩකයන් ක්‍රීඩාංගණය තුළදී මෙන්ම ක්‍රීඩාංගණයෙන් පිටතදීද සමීප මිතුරන් ලෙස කටයුතු කළ පුද්ගලයෝ වෙති. මින් පෙර සහභාගි වූ දේශීය තරගවලදී ජෝ බර්න්ස් සහ මැතිව් රැන්ෂෝ ක්‍රීඩා කළ කණ්ඩායම්වලට එරෙහිව තරග වැදී තිබුණද, ඔවුන් සමග එකම කණ්ඩායමකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මාකස්ට උදා වී නොතිබිණ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“මගේ අලුත් සහයකයා කවුද කියන එක කණ්ඩායම සමග පුහුණු කඳවුරට යනකම් මට දැනගන්න ලැබෙන එකක් නැහැ. ඒක දැනගන්න මම ඉතා නොඉවසිල්ලෙනුයි ඉන්නේ.”

“වරින් වර අලුත් සහයකයන් සමග ක්‍රීඩා කරන එක තරමක් අපහසු විය හැකියි. නමුත් එය ඒ තරම් හිතන්න දෙයක් නෙමෙයි කියලයි මම හිතන්නේ. ඒ නිසා ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. ලැබෙන සහයකයා කවුරුන් වුවත් ඔහු සමග එක්ව සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගන එක මගේ වගකීම.” යැයි මාක්ස් පැවසීය.

දෙරට අතර දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ මස 24 වැනිදා බ්‍රිස්බේන්හිදී ආරම්භ වීමට නියමිතය.


පුහුණු තරගය හෙට
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය ආරම්භ කරමින් පළමු සහ එකම තුන්දින පුහුණු තරගය හෙට පැවැත්වේ. මෙම තරගය හෙට පෙරවරු 8.30 ට ආරම්භ වීමට නියමිතය.

 

-036

 


අදහස් (0)

හැරිස්ට අලුත් සගයෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.