Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හිටපු ක්‍රිකට් නිලධාරීන් කෝප් කමිටුව හමුවට

හිටපු ක්‍රිකට් නිලධාරීන් කෝප් කමිටුව හමුවට

දමින්ද විජේසූරිය - 2021 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

හෙට දිනයේ කෝප් කමිටුව හමුවට යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙතෙක් කටයුතු කළ නිලධාරී මණ්ඩලය බව එහි ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අද (5 වැනිදා) සවස කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා එසේ පැවසීය.

හෙට දිනයේ කෝප් කමිටුව හමුවට යන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අර්බුදයක් අද පෙරවරුවේදී නිර්මාණය වී තිබිණ. ඊට පසුබිම වූයේ මැයි මස 20 වැනිදා පැවැත්වෙන නිලවරණය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට පස්දෙනකුගෙන් යුත් කළමණාකරණ කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමතිවරයා පසුගිය සිකුරාදා පියවර ගැනීමයි.

මේ සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතාගෙන් කළ විමසීමකදී සභාපතිවරයා පැවසූයේ තමන් දැනුම් දීම කරන්නේ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට බවයි.

“අපිට තියෙන්නේ අදාළ ගණන් ගැනීමේ නිලධාරියා වශයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට දිනය සහ කාරණාව සම්බන්ධයෙන් දැනුම් දීමයි. කෝප් කමිටුව හමුවට පැමිණෙන්නේ කොයි නිලධාරීන් ද කියන එක අමාත්‍යංශ ලේකම්වරයා තෝරා ගනීවි” යයි මහාචාර්ය චරිත හේරත් මහතා ලංකාදීපයට පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසූයේ තමන් විසින් කරන ලද විමසීමට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා අද දිනයේදී ප්‍රතිචාර දක්වා ඇති බවයි.
 
“අලුත් කමිටුව වැඩ බාරගන්නේ අඟහරුවාදා නේ. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා අපට දන්වලා තියෙනවා කෝප් කමිටුව හමුවට යන්න කියලා” යයි පැවසූ ක්‍රිකට් ලේකම්වරයා...

“සඳුදා දක්වා ක්‍රිකට් ආයතනයේ කටයුතු කළ නිලධාරීන් හැටියට අපි කෝප් කමිටුව හමුවට යනවා. අපි සූදානම් වෙලා යන්නේ.. එන දේකට මුහුණ දෙන්න අපි සූදානම්” යයි ද වැඩිදුරටත් පැවසීය.

කෝප් කමිටුව විසින්, පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවන ලදි. එම අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබිණ. අනතුරුව ඔවුනට දැනුම් දුන්නේ සූදානම් වී නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බවයි.

පසුගිය සිකුරාදා ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද නව කළමණාකරණ කමිටුවේ සභාපතිවරයා වන්නේ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාය. ක්‍රීඩා අධක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය, සුජීව මුදලිගේ, උචිත වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු නව ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. මෙම කමිටුව හෙට (6 වැනිදා) වැඩ බාරගන්නා බව එහි සාමාජිකයෙක් ලංකාදීපයට පැවසීය.

කෝප් කමිටුව විසින් අප්‍රේල් මාසයේදී රාජ්‍ය ආයතන හතරක් (04) කමිටුව හමුවට කැඳවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව තුළ පසුගිය කාලය තුළදී සිදුවී තිබෙන අක්‍රමිකතා කෝප් කමිටුව විසින් විමර්ශනය කරනු ලැබීමට නියමිතය.

 


අදහස් (0)

හිටපු ක්‍රිකට් නිලධාරීන් කෝප් කමිටුව හමුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.