Last Update  :  2025-01-17 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හොඳම වේගපන්දු යවන්නන්ට ආබාධ
ආසියානු කුසලාන

හොඳම වේගපන්දු යවන්නන්ට ආබාධ

editorial - 2022 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ප්‍රධානම රටවල් තුන ලෙස සැලකෙන ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය මෙවර තරගාවලියට එක්වන්නේ වර්ථමානයේ එම කණ්ඩායම් සතුව සිටින හොඳම වේග පන්දු යවන්නන් තිදෙනා නොමැතිවය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර තරගාවලියේදී විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් ඉන්දියාවට ජස්ප්‍රීට් බුම්රාගේද, ශ්‍රී ලංකාවට දුෂ්මන්ත චමීරගේද, පාකිස්තානයට ශහීන් අෆ්රිඩිගේද සේවය අහිමිව ගොස් තිබේ.

තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නම් කිරීමට පෙර සිටම බුම්රා පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටි බැවින් ඔහුගේ නම තේරීම් කටයුතුවලදී සලකා බැලීමට ලක් නොවීය. එළබෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි කරවීමේ අරමුණින් යුතුව බුම්රාට විවේකයක් ලබාදීම කෙරෙහිද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී තිබිණ. ඒ අනුව ජූලි මස 14 වැනිදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති එක්දින තරගයකින් පසුව ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළ කිසිදු ජාත්‍යන්තර තරගයක් සඳහා ඔහු සහභාගි නොවීය.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට අවසන් මොහොතේ ආසියානු කුසලාන තරගාවලිය අහිමිව ඇත්තේ වම් පාදයේ ආබාධයක් හේතුවෙනි. ආබාධ තත්ත්වයක් හේතුවෙන්‍ මෙම මස මුලදී පැවැති ආරාධිත විස්සයි-20 ලීගයටද සහභාගි නෙවූ චමීර, එම ආබාධ තත්ත්වයෙන් සුව ලබා සිටියද ඉකුත් සිකුරාදා (19 වැනිදා) පැවැති පුහුණු සැසියකදී නැවතත් ආබාධයට ගොදුරු වී ඇත. චමීරගේ ආබාධ තත්ත්වය පූර්ණ වශයෙන් සුව අත‍ට හැරීම සඳහා සති දෙකක පමණ කාලයක් ගත වනු ඇතැයි වාර්තා වේ.

චමීරගේ ස්ථානය සඳහා නුවන් තුෂාර සංචිතයට එක්කර ඇති නමුත් ඔහු එක්සත් අරාබි එමීර රාජ්‍යය බලා ශ්‍රී ලංකා කණ්ඩායම සමග පිටත්ව නොයනු ඇත. ඊට හේතුව දිනේෂ් චන්දිමාල් සහ නුවනිඳු ප්‍රනාන්දු සමග තුෂාරද සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් ලෙස නම්කර තිබීමය. ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා තුෂාරගේ නම යවා ඇති බවත්, මේ වන විට ඔහු ශ්‍රී ලංකා සංචිතය සමග පුහුණුවීම්වල නිරත ව‍න බවත් එහිදී වැඩිදුරටත් දැනගන්නට ලැබේ.

ජූලි මස 3 වැනිදා නම් කරන ලද පාකිස්තාන සංචිතයට ඇතුළත්ව සිටියද, නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගාවලිය අතරතුර දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ශහීන් අෆ්රිඩිට මෙවර ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී ඇත. මෙම අබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට සති 4 ත් 6 ත් අතර කාලයක් විවේක ගැනීම සඳහා වෛද්‍ය උපෙදෙස් ලැබී ති‍බේ. අෆ්රිඩිගේ හිදැස පිරවීම සඳහා යොවුන් වේග පන්දු යවන්නකු වන 22 හැවිරිදි මොහොමඩ් හස්නයින් පාකිස්තාන සංචිතයට කැඳවා සිටියි. විස්සයි-20 ජාත්‍යන්තර තරග 18 කදී හස්නයින් බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 18 කි.

 


අදහස් (0)

හොඳම වේගපන්දු යවන්නන්ට ආබාධ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.