Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ‘සල්පිටි රයිගම් කෝරළ හටන’ විසඳුමකින් තොරයි

‘සල්පිටි රයිගම් කෝරළ හටන’ විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 18 වැනි ‘සල්පිටි රයිගම් කෝරළ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (23 වැනිදා) අවසන්විය. මේ අනුව ‘සල්පිටි රයිගම් කෝරළ’ කුසලාන තවදුරටත් තමන් සන්තකයේ තබාගැනීමට පිළියන්දල මැදි විදුහලට අවස්ථාව හිමිවිය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිටියට පිවිසි තක්‍ෂිලා මැදි විදුහල දිනය නිමාවන විට කඩුලු 6 ක් දැවී ලකුණු 92 ක් රැස්කරමින් තරගය විසඳුමකින් තොරව අවසන් කරගැනීමට සමත්විය.

එක් අවස්ථාවකදී ලකුණු 42 කට කඩුලු 6 ක් බිඳවැටී අසීරූ තත්වයක සිටි තක්‍ෂිලා මැදි විදුහල් ඉනිම ගොඩනැගූ තිළිණ තරින්ඳ සහ උමේෂ් ප්‍රසාද් සිය පාසල පරාජයෙන් ගලවා ගැනීමට සමත්වූහ. ඔවුන් දෙදෙනා එක්ව හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 50 ක නොබිදණු සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

පළමු දිනට ඊයේ (22 වැනිදා) තරගය නිමා වනවිට පළමු ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකුණු 61 ක් රැස්කර සිටි පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 233 කට කඩුලු 9 ක් දැවී තිබියදී ඉනිම අත්හිටුවීමට අද තීරණය කළේය.
පිළියන්දල මැදි විදුහල ඉනිම අත්හිටුවන විට තක්‍ෂිලා මැදි විදුහල පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 92 ක් ඉදිරියෙන් සිටියේය.

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ තරගාවලියේදී ලකුණු 1000 සම්පූර්ණ කළ චමෝද් සඳරු ශතකයක් (නොදැවී 122) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර වාර්ෂික මහ ක්‍රිකට් තරගයකදී පිට පිට ලැබූ දෙවැනි ශතකයද වන්නේය. පන්දු 177 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි සඳරු හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම අලංකාර කළේය.

මින් පෙර පැවැති වාර්ෂික මහ ක්‍රිකට් තරග වලදී ශතක ලබාගැනීමට දසුන් ආරියරත්න, චානක රුවන්සිරි සහ කුෂාන් සෙනුර සමත්වූහ.

තිළිණ තරින්ද කඩුලු 3 ක් සහ රසිඳු ජනිත් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


තක්‍ෂිලා ම.ම. විද්‍යාලිය පළමු ඉනිම - ඕවර 65.1 කදී සියලුදෙනා දැවී 141
(සසිඳු ජනිත් 40, උෂාන් දීමන්ත 08/5, සඳුන් සත්සර 08/2)

පිළියන්දල ම.ම. විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 72 කදී කඩුලු 9 ක් දැවී 233
(අශේන් රුද්‍රිගූ 28, චමෝද් සඳරු නොදැවී 122, රුචිර අධිකාරී 21, තිළිණ තරින්ද 77/3, රසිඳු ජනිත් 23/2)

තක්‍ෂිලා ම.ම. විද්‍යාලිය දෙවැනි ඉනිම - ඕවර 51 කදී කඩුලු 6 ක් දැවී 92
(තිළිණ තරින්ද නොදැවී 27, උමේෂ් ප්‍රසාද් නොදැවී 22, සඳුන් සත්සර 16/2)    

 


අදහස් (0)

‘සල්පිටි රයිගම් කෝරළ හටන’ විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.