Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අතුරු කමිටුවලින් වැඩක් නෑ - හේමක අමරසූරිය

අතුරු කමිටුවලින් වැඩක් නෑ - හේමක අමරසූරිය

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේදී වැටී තිබෙන උග්‍ර අර්බුදයෙන් ගොඩගැනීමට ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම අත්‍යවශ්‍ය බවත් හේමක අමරසූරිය මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවක හිටපු සභාපතිවරයකු වන අමරසූරිය මහතා ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ වත්මන් සහභාපතිවරයා මෙන්ම දශක තුනකට වැඩි කාලයක් පුරා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ හිටපු සභාපතිවරයෙකි.

හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගේ කාලයේදී පත්කරන ලද ක්‍රිකට් උපදේශන කමිටුවේ සභාපතිවරයා ලෙසින්ද අමරසූරිය මහතා කටයුතු කළේය. අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ අනුර තෙන්නකෝන් යන මහත්වරු එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් කිහිප දෙනකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවල හිටපු සභාපතිවරුන් කිහිප දෙනකුගේ අත්සනින් යුත් ලිපියක් පසුගිය සතියේදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසිර් මුස්තාපා මහතා වෙත යැවීම සම්බන්ධයෙන් කළ විමසීමේදී ක්‍රිකට් අතුරු කමිටු ‘නිෂ්ප්‍රයෝජන’ බව අමරසූරිය මහතා කියා සිටියේය.

ජූනි 10 දාතමින් යුතුව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් වන උපාලි ධර්මදාස, ජයන්ත ධර්මදාස සහ ආනා පුංචිහේවා යන මහත්වරුද ක්‍රිකට් අතුරු කමිටුවල හිටපු සභාපතිවරුන් වූ සිදත් වෙත්තමුණි, රියන්සි විජේතිලක, අර්ජුන රණතුංග සහ විජය මලලසේකර යන මහත්වරුද අත්සන් තබා තිබිණ. මෙම ලිපියට අත්සන් තැබීම සඳහා හේමක අමරසූරිය මහතාටත් ඉඩක් වෙන්කර තිබූ නමුත් එහි සඳහන් වූයේ අමරසූරිය මහතා විදේශගතවී සිටන බවයි.

ක්‍රීඩා ඇමතිවරයා වෙත යවන ලද එම ලිපියෙන් ඉල්ලා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෑත කාලීන පාලනය ඉවත් කර වඩාත් යහපත් පාලනයක් ගෙනයාම සඳහාත් ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහාත් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන ලෙසසි.

මෙම ලිපිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ විමසීමේදී අමරසූරිය මහතා කියා සිටියේ තමන් විදේශගතව නොසිටි බවත් පවතින තත්ත්වය යටතේ ක්‍රිකට් අතුරු කමිටුවක් ඉල්ලා සිටීමෙන් කිසිදු ප්‍රයෝජනයක් ඇති නොවන බවත්ය.

“අතුරු කමිටු තිබුණත් ඒ අය ගිහිල්ලා නැවත ඡන්දයෙන් පත්වන පාලනයක් ආවාම කලින් තිබුණ දේවල් සේරම වෙනස් කරනවා”

“2002 - 2003 කාලයේදී අපි ක්‍රීඩකයන්ගේ දියුණුව වෙනුවෙන් සකස් කරපු බොහෝ දේවල් ඊට පස්සේ ආපු නිලධාරීන් වෙනස් කළා.. ඒ කාලයේ අපි ක්‍රීඩකයන්ට ක්‍රිකට් විද්‍යායතනයක් හැදුවා. එතනදි ක්‍රීඩකයන්ට තරගයකින් පස්සේ කතකිරීමේ විදිහ පවා ඉගැන්නුවා. ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් අපි කියලා දුන්නා. ඒත් ඒවා පවත්වාගෙන ගියේ නෑ....අද ඒ තැන්වල තියෙන්නේ කාර්යාල”

“මේ ව්‍යවස්ථාව හරියට හදන්නේ නැතිව අතුරු කමිටු දාලා වැඩක් වෙන්නේ නෑ. යයිද අමරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකු වන අරවින්ද ද සිල්වා මහතා ද සන්ඬේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේදී මුහුණ දී තිබෙන තත්ත්වය එහි ‘ඉරණම’ බවයි.

‘ක්‍රිකට් උපදේශක මණ්ඩලයට එක්වන්න’යි ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ අරවින්ද ද සිල්වා මහතා මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහානාම අනුගමනය කළ පිළිවෙතම නිහඬව අනුගමනය කළේය.

එහිදී ක්‍රීඩා ඇමති මුස්තාපා මහතාට පළමු හී පහර වැදුණේ මහේල ජයවර්ධනගෙනි.

“තේරීම් කමිටු නිලධාරීන්ට සහ ක්‍රීඩා ඇමතිවරයාට ගෞරවයෙනි. මම ක්‍රිකට් කමිටුවේ වසරක කාලයක් ගතකළෙමි. තවත් මාස 6 ක් විශේෂ උපදේශන මණ්ඩලයේත් කටයුතු කළෙමි. එහෙත් කිසිම ආකාරයේ නිර්දේශයක් ක්‍රියාත්මක නොකෙරිණ”

“මේ ක්‍රමය ගැන මට කිසිම විශ්වාසයක් නැත. කිසිවකුට තම තමන්ගේ කාර්යයන් සඳහා කාලය දිගුකර ගැනීමට අවශ්‍යවේ නම් කරුණාකර ඒ වෙනුවෙන් අප යොදා නොගන්නා ලෙස මම ඉල්ලා සිටිමි.” යයි මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණ.

පසුව රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් මෙන්ම කුමාර් සංගක්කාරද ස්තුතිපූර්වකව ක්‍රීඩා ඇමතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. ඔවුන් සියලු දෙනාගේම පොදු මතය වූයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් තමන් දැඩි අවිශ්වාසයකින් සිටින බවයි.

කවුරුන් කුමන ආකාරයේ කමිටු වලට පත්කළත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දැනට පවත්වාගෙන යන ක්‍රමය අනුව ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගත නොහැකි බවත් ක්‍රිකට් ක්‍රීඩාව නැවත නඟා සිටුවීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියද වෙනස් කළ යුතු බවත් කුමාර් සංගක්කාර ක්‍රීඩා ඇමතිවරයාට ලිඛිතවම දන්වා යැවීය.

“මේ තත්ත්වය ගැන මා සතුටු වෙනවාද නැතිනම් කණගාටු වෙනවාද කියා මට කියන්න බෑ. ඒත් අපි (හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් උපදේශන කමිටුව) මාස හයක පමණ කාලයක් වෙහෙස වෙලා, හොඳට හදලා දුන්න යෝජනාවලිය ප්‍රතික්ෂේප කළා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉරණම මේක තමා” යයි අරවින්ද ද සිල්වා මහතා ද සන්ඬේ ටයිම්ස් පුවත් පතට කියා තිබිණ.

 


අදහස් (0)

අතුරු කමිටුවලින් වැඩක් නෑ - හේමක අමරසූරිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.