Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අන්තර් සමාජ විස්සයි20 ශූරතාව මුවර්ස් පිලට

අන්තර් සමාජ විස්සයි20 ශූරතාව මුවර්ස් පිලට

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජය අද (27 වැනිදා) සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී එන්.සී.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් වාර්තා කරමින් මුවර්ස් ක්‍රීඩා සමාජය එම ශූරතාවට හිමිකම් කීවේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 9 ක් දැවී තිබියදී අවසන් පන්දුවේදී සිය ඉලක්කය කරා අවතීර්ණ වූහ.

තරගය ජය ගැනීම සඳහා මුවර්ස් කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 16 ක් අවශ්‍ය වූ අතර හයේ පහර 2 ක්ද සමගින් පන්දු 6 කදී ලකුණු 16 ක් රැස්කළ ශිරාන් ප්‍රනාන්දු සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 39 ක් වනවිට සිවුවැනි කඩුල්ලත් බිඳවැටීම නිසා මුවර්ස් කණ්ඩායම ආරම්භයේදී තරමක් අසීරු තත්වයකට පත් විය. එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක චතුරංග ද සිල්වා කඩුලු 2 ක් බිඳහෙළීය.

කෙසේ වෙතත්  ඉවසිලිවන්ත පිතිහරඹයක නිතර වූ රමේෂ් මෙන්ඩිස් (37), පස්වැනි කඩුල්ල වෙනුවෙන් අදීෂ තිලංචන (26) සමග එක්ව පන්දු 37 කදී ලකුණු 49 ක්ද, හයවැනි කඩුල්ල වෙනුවෙන් නිමන්ද සුබසිංහ (47) සමග එක්ව පන්දු 37 කදී ලකුණු 60 ක්ද එක්කරමින් මුවර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩි තාලමක් දැමීය.

පන්දු 37 කදී වාර්තා වූ මෙන්ඩිස්ගේ ඉනිමට හතරේ පහර 3 ක්ද, පන්දු 22 කදී වාර්තා වූ තිලංචනගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක්ද ඇතුළත් වූ අතර පන්දු 23 කට මුහුණදුන් සුබසිංහ හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසීය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිලේෂ් ගුණරත්න සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තද, එන්.සී.සී. කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔහුට නොහැකි විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.සී.සී. කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 173 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක, පන්දු 38 කින් ලකුණු 52 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි.

නායක මහේල උඩවත්ත (31) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නිස්සංක සමත් විය. පන්දු 24 කදී වාර්තා වූ උඩවත්තගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

ළහිරු උදාර හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 19 ක්ද, දිනේෂ් චන්දිමාල් හතරේ පහර 3 ක් සමග ලකුණු 20 ක්ද, චතුරංග ද සිල්වා හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 20 ක්ද රැස්කරමින් එන්.සී.සී. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


එන්.සී.සී. කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 7 කට 173
(ළහිරු උදාර 19, දිනේෂ් චන්දිමාල් 20, මහේල උඩවත්ත 31, පැතුම් නිස්සංක 52, චතුරංග ද සිල්වා 20, අදීෂ තිලංචන 30/3)

මුවර්ස් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 9 කට 174  
(රමේෂ් මෙන්ඩිස් 37, අදීෂ තිලංචන 26, නිමන්ද සුබසිංහ 47, ශිරාන් ප්‍රනාන්දු නොදැවී 16, දිලේෂ් ගුණරත්න 18/3, චතුරංග ද සිල්වා 20/2)


අදහස් (0)

අන්තර් සමාජ විස්සයි20 ශූරතාව මුවර්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.