Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අළු බඳුන දිනන හැටි කි‍්‍රකට් හෝඩි පොතේ

අළු බඳුන දිනන හැටි කි‍්‍රකට් හෝඩි පොතේ

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඔස්ටේ‍්‍රලියාව පරදවා ‘අළු බඳුන’ නැවත අත්පත් කරගැනීමට නම් අනුකම්පා විරහිත බවේ අන්තයටම යා යුතු බැවින් ඒ සඳහා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ හෝඩිපොත යළි කියවන ලෙස එංගලන්ත පිලට උපදෙස් ලැබී තිබේ. අවසන් වරට පැවති, 2013-14 අළුබඳුන ටෙස්ට් තරගමාලාව  තරග 5-0 කින් ජයගත් ඔස්ටේ‍්‍රලියානු පිල පෙරළා දමන්නට නම් එංගලන්ත පිල යළි ක‍්‍රීඩාවේ හෝඩියට යායුතු බව කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් මහතාගේ විශ්වාසය වී තිබේ.

ලබන මස කාඩිෆ් හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අළුබඳුන ටෙස්ට් තරගමාලාව ඇරැඹෙන්නට ආසන්න වෙද්දී එංගලන්ත කණ්ඩායමේ සම්පූර්ණ පාලනය ටෙ‍්‍රවර් බේලිස් මහතාට පවරා දීමට ෆාබ්‍රේස් මහතා සූදානමින් සිටී.

එංගලන්ත පිලේ හිටපු පූර්ණකාලීන පුහුණුකරු වූ පීටර් මුවර්ස් නෙරපා හැරීමෙන් පසුව කණ්ඩායමට අලූතින්ම පත්වූ පූර්ණකාලීන පුහුණුකරුවා වන්නේ බේලිස් මහතාය.

හෙඩිංග්ලි හීි දී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ලකුණු 199 කින් පරාජයවීමෙන් පසුව එංගලන්තය එක පෙළට තරග කළ ටෙස්ට් තරගමාලා දෙකක්ම නිමාවට පත්වී තිබුණේ 1-1ක් ලෙස ජයපැරදුමෙන් තොරවය.

 මේ අවස්ථා දෙකෙහිදීම පළමු තරගයේ ජය හිමිවූයේ  එංගලන්ත පිලටය.
”අපිට තරගමාලා කිහිපයක්ම දිනන්න අවස්ථාව තිබුණා”
”බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැති තරගමාලාවේ දී අපිට තරග 2-0ක් විදිහටයි අන්තිම තරගයට යන්න තිබුණේ. ඒත් ඒක එහෙම වුණේ නෑ. අපි ප‍්‍රතිවාදීන්ට හිස ඔසවන්න ඉඩ දුන්නා.”යයි ෆාබ්‍රේස් මහතා පැහැදිලි කළේය.

නවසීලන්තය සමග හෙඩින්ග්ලි හී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ නවසීලන්ත දෙවැනි ඉනිමේ දී උඩපන්දු අතහැරීම නිසා (ඉන් වැඩිපුර උඩපන්දු අතහැරී තිබුණේ ස්ලිප් ක‍්‍රීඩකයන් වෙතිනි) අනුමාන කළාට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් නවසීලන්තය ලබා ගත්තේය.  

”අනුකම්පා විරහිත බව එන්නේ ක‍්‍රීඩාවේ මූලික දේවල් හරියට ප‍්‍රගුණ කළොත් විතරයි. මූලික දේවල් හරියට කරනවානම්, ලැබෙන උඩපන්දු රැකගන්නවානම් ප‍්‍රතිවාදීන් මෙල්ල කරන්න ඔබට ලොකු අවස්ථාවක් ලැබේවි. ඒත් හෙඩින්ග්ලිවල දී අපිට ඒවා මග හැරුණා” යයි ෆාබ්‍රේස් මහතා කීවේය.

”ඒ වුණාට නවසීලන්තය නම් ඒවා අකුරට කළා”
”ඒ වගේම ඔවුන් අපේ පන්දු යවන්නන්ට ලොකු පීඩනයක් ගෙනදුන්නා. අපි මොකද කළේ....නිවැරැදි රිද්මයෙන් නියම තැනට පන්දු යවන්නෙ නැතුව ඔවුන් දවාලන්න ‘මැජික් පන්දු’ හොයමිනුයි හිටියේ. ඔවුන් වේගවත් හා අලංකාර පහරවල් ගහන්න පටන් ගත්තම අපේ ක‍්‍රීඩකයන්ගේ හික්මීම නැතිවුණා. අපේ පන්දු යවන්නන් වයිඞ් පන්දු හා කෙටි පන්දු යවපු නවසීලන්ත ඉනිම් දෙකෙහිදීම මේකයි සිද්ධ වුණේ යයි ෆාබ්‍රේස් මහතා පැහැදිලි කළේය.

එහෙත් නවසීලන්ත පුහුණුකරු මයික් හෙසන් මහතා පවසන ආකාරයට ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ එංගලන්ත පන්දු යවන්නන්ට දිගට හරහට පහරදීමය.
”එහෙම තමයි අපි තරග දිනන්නේ..” හෙසන් මහතා කියයි.

කෙසේ වූවත් දෙපිල අතර ලෝඞ්ස් පිටියේ පැවැති පළමු තරගයේ දී ශතකයක් ද, දෙවැනි තරගයේ ඉනිම් දෙකෙහිදීම අර්ධ ශතක බැගින් ද රැස් කළ  එංගලන්ත පිලේ නායක අලෙස්ටෙයාර් කුක්ට තමන්ගේ ලකුණු ලබාගැනීම හොඳින් පවත්වාගැනීමට හැකිවුවහොත් එංගගන්ත නායකයා ඔස්ටේ‍්‍රලියාවට හිසරදයක් වනු ඇතැයි නවසීලන්ත පුහුණුකරුවා වැඩිදුරටත් පැවසීය.

”එංගලන්ත පිලේ පන්දු යැවීමේ අංශයේ ඉදිරියෙන්ම සිටින ජිමී ඇන්ඩර්සන් ඉතා හොඳින් පන්දු යවනවා. ඔහුට පන්දුවේ අලූත් බවේ හෝ පරණ බවේ ඇති විශේෂ වෙනසක් නෑ.” හෙසන් මහතා කියා සිටියේය.

‘අළු බඳුන’ තරගමාලාව ට පෙර එංගලන්තය හා ලෝක එක්දින අනුශූරයන් වන නවසීලන්තය අතර සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියක් ද පැවැත්වේ. පසුගිය ලෝක කුසලාන තරගමාලාවේ දී වේලාසනින්ම ගෙදර පැමිණීමට සිදුවූ නිසා එංගලන්තය ඇන්ඩර්සන්, බ්‍රෝඞ් හා ජ්‍යෙෂ්ඨ පිතිකරු ඉයන් බෙල් කණ්ඩායමට නම් නොකිරීමෙන් සිය එක්දින පිලට නව මුහුණුවරක් ලබාදීමට සැරසෙන බවට ඉගි පළවී තිබේ.

කලක් බේලිස් සමග ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එකට වැඩ කළ පෝල් ෆාබ්‍රේස් මහතා කියන්නේ දැනටමත් ඔවුන් දෙදෙනා එංගලන්තය සුදු පන්දුවෙන් ක‍්‍රීඩා කළ යුත්තේ කෙසේදැයි යන්න ගැන දළ සැලැස්මක් සකස්කර ඇති බවකි.

 


අදහස් (0)

අළු බඳුන දිනන හැටි කි‍්‍රකට් හෝඩි පොතේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.