Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ආත්ම විශ්වාසය රැකගැනීමේ තරගයක්

ආත්ම විශ්වාසය රැකගැනීමේ තරගයක්

Nisanka Sandeepani - 2018 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අතීතය මියගොසිනි. ඒ ගැන දිගින් දිගටම කතා කිරීමේ තේරුමක් නැත. එහෙත් අතීතයෙන් පාඩමක් ඉගෙනීමට ඇති අවස්ථාවේදී අතීතය යනු කිසිසේත්ම අමතක කළ හැකි යමක්ද නොවේ.

බංග්ලාදේශය ටෙස්ට් පිටියට එක්වූ 2000 වසරේ සිට වසර 16 ක කාලයක් යනතුරුත් ටෙස්ට්, එක්දින හෝ විස්සයි-20 ආකාරයේ ඕනෑම තරගයකදී “බංග්ලාදේශය පරදවා ජයගත හැකිය” යන විශ්වාසය තරගයට පෙර සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතුව තිබිණ. එහෙත් පසුගිය වසරේ කොළඹදී පැවැති බංග්ලාදේශයේ 100 වැනි ටෙස්ට් තරගයේදී ලද පරාජයත් සමගින් එතෙක් පැවැති තත්ත්වය උඩු යටිකුරු විය. 
එතැනින් ආරම්භ වූ ශ්‍රී ලංකා පිලේ පසුබෑම දිගින් දිගටම ඇදී ගිය නමුත් මේ වසර මුලදී බංග්ලාදේශයේ කළ සංචාරයේදී ශ්‍රී ලංකා පිල ප්‍රපාතයට ඇදී යාම නවතා ගත හැකි විය. 

නිදහස් කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය වූ ඉන්දියාවට එරෙහිව පැවැති තරගය ජයගත්තත් ඉන් පසුව පැවැති තරගයේදී නැවතත් බංග්ලාදේශය හමුවේ පරාජය වීම ශ්‍රී ලංකා කණ්ඩායම ලද අනපේක්‍ෂිත පහරක් විය. ලකුණු 214 ක් පුවරුවේ තිබියදීත් එය ආරක්‍ෂා කරගැනීමට පන්දු යවන්නන් අසමත් වීමේ ප්‍රතිඵලය වූයේ බංග්ලාදේශයට එරෙහිව අද (16 වැනිදා) පැවැත්වෙන තරගය, මාස දෙකකට ඉහතදී යළි සොයාගත් ආත්ම විශ්වාසය ආරක්‍ෂා කරගැනීමේ තරගයක් බවට පත්වීමයි. 

නිදහස් කුසලාන තරගාවලියේ මූලික සැලැස්ම අනුව එහි අවසන් පූර්ව තරගයක් නොතිබුණත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙන තරගය අවසන් පූර්ව තරගයක තත්ත්වයට පත්ව තිබේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙන තරගයේදී ජයග්‍රහණය ලබන කණ්ඩායම ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. ඉන්දීය පිල මේ වන විටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටී. 

අද තරගය ඉතාමත් තීරණාත්මක තරගයක් වූවත් ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කියන්නේ එය ‘තවත් එක තරගයක්’ ලෙසින් සලකා තමන් ඊට සූදානම් වන බවයි. 

“ඒක තීරණාත්මක තරගයක් තමයි. ඒත් ඒක සාමාන්‍ය තත්ත්වයක් කියලා හිතාගෙන අපි සූදානම් වෙනවා. මෙතැනදී අපට තියෙන වාසිය තමයි අපි මෑතකදී ඔවුන් එක්ක තරග කරලා තිබීම....අපි ඔවුන් ගැන ගොඩාක් දේවල් දන්නවා වගේම ඔවුනුත් අපි ගැන බොහෝ දේවල් දන්නවා. ඒ නිසා මේ තරගයේදී පුදුම වෙන්න දේවල් තියෙන එකක් නෑ” යයි චන්දික හතුරුසිංහ මහතා ඊයේ (15) දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය. 

නිදහස් කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු තරගයේදී ලද පරාජය හේතුවෙන් තමන් පීඩනයට පත්වූ බව හතුරුසිංහ මහතා පිළිගනී. 

“ලකුණු 214 ක් ගැහැව්වාට පස්සේ (විස්සයි-20) තරගයක් පරාජය වෙන්න තියෙන අවස්ථාව හරි අඩුයි. මා හිතන්නේ නෑ ඒ තරගයේදී අපි  හොඳින් පන්දු යැව්වා කියලා. අපි ඒක පිළිගන්න ඕනෑ. අනෙක් අතට තරගයකට ක්‍රීඩා කරන පන්දු යවන්නන් පස් දෙනාම නැත්නම් හය දෙනාම ඕවරයකට ලකුණු 10 ක් බැගින් ගුටිකන එකත් හැමදාම වෙන දෙයක් නෙමේ....ඒ කොහොම වුණත් බංග්ලාදේශය එදා පන්දුවට පහර දුන් ආකාරය සම්බන්ධයෙන් නම් ඔවුන්ට ගෞරවය හිමිවෙන්න ඕනේ” යයිද ශ්‍රී ලංකා පුහුණුකරුවා පැවසීය. 

කෙසේ වෙතත් නිශ්චිත කාලයක් ඇතුළතදී නියමිත ඕවර සංඛ්‍යාව යැවීම නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රශ්නයක් වී තිබේ. පෙරදී එය එතරම් කරදරයක් නොවූයේ ශ්‍රී ලංකා කණ්ඩායම දඟ පන්දු යවන්නන්ගෙන් ගහණ වූ බැවිනි. එහෙත් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිපුර සිටින්නේ වඩාත් දිගු ආරම්භක දිවයාමක් සහිත වේග පන්දු යවන්නන්ය. ඒ මදිවාට පන්දුව වැඩි වාර ගණනක් නරඹන්නන් අතරට යන හෙයින් පන්දුව අපසු පන්දු යවන්නා අතට ලැබීමටත් වැඩි කාලයක් ගතවෙයි. මෙවන් තත්ත්වයකදී නියමිත කාලය ඇතුළත ඕවර 20 ක් සම්පූර්ණ කිරීම අභියෝගයකි. 

ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ සිට තිසර පෙරේරා දක්වාම පිතිකරු ලයිස්තුවේ සිටින සියලුම දෙනා ලකුණු අතර සිටිති. ප්‍රශ්නය ඇත්තේ පන්දු යවන්නන් අතරය. ප්‍රතිවාදී පිතිකරුවන් පාලනය කරගැනීම අතින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බොහෝ පසුබැස ගොස් සිටිති. ඒ සම්බන්ධයෙන් පුහුණුකරුවාගේ මතය වන්නේ ඔවුන් තරුණ පන්දු යවන්නන් බවයි. 

“විස්සයි-20 තරග ගත්තොත් අපේ පන්දු යවන්නන් වැඩි දෙනෙක් තරග 10 ක් වත් ක්‍රීඩා කරලා නෑ. ඒත් ඒක නිදහසට කාරණාවක් නෙමේ. අපි මෙතැන ඉන්නේ ඔවුන්ට අත්දැකීම් දෙන්න තමා. ඒත් මෙතැන ප්‍රශ්නය වෙන්නේ තණතීරුවයි” යයිද හතුරුසිංහ මහතා පැවසීය. 
“හෙට තරගයට සූදානම් වීමේදී අපි පන්දු යැවීම සම්බන්ධයෙන් වැඩිපුර අවධානයක් යොමු කරලයි තිබෙන්නේ. තරගාවලිය ආරම්භ වීමට පෙර ඉඳන්ම අපේ විශ්වාසය වුණේ ‘මේක තමයි අපට ඉන්න හොඳම පන්දු යැවීමේ බලඇණිය’ කියලයි. තවම වුණත් මගේ ඒ අදහස වෙනස් වෙලා නෑ” යයිද හතුරුසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. 

මෙම තරගය ඉතාමත් තීරණාත්මක අදියරට පැමිණ තිබෙන බැවින් නිදහස් කුසලාන තරගාවලිය සඳහා මුලින්ම නම්කළ නායක සකිබ් අල් හසන් නැවතත් කණ්ඩායමට කැඳවීමට බංග්ලාදේශය සූදානම් වෙයි. ශ්‍රී ලංකා පිලට එරෙහිව ඉතාමත් හොඳින් තරග කරන තුන් ඉරියව් ක්‍රීඩකයකු වන සකිබ් අල් හසන් විශ්වාසය තැබිය හැකි පිතිකරුවක මෙන්ම වමතින් දඟ පන්දු යවන ඉදිරි පෙළ පන්දු යවන්නකුද වෙයි. මෙම තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙසින් නම්කර සිටියද ඔහුගේ ඇඟිල්ලේ තිබූ ආබාධය සුව නොවීම නිසා සකීබ් වෙනුවට ලිටන් දාස් කණ්ඩායමට එක්විය. 

සකිබ් අල් හසන් නැවතත් කැඳවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ පුහුණුකරු කර්ට්නි වොල්ෂ් මහතා මහත් බලාපොරොත්තු සහගතව සිටී. 
“එයා ශ්‍රී ලංකාවට එනවා. ඒත් වෙනත් ඕනෑම ක්‍රීඩකයකු වගේම එයා ගැනත් විමසීමක් කෙරෙනවා. එයාව තරගයට ගන්නේ නියමිත ශාරීරික යෝග්‍යතාවෙන් ඉන්නවානම් තමයි....එයා ඩකාහිදී හොඳ පුහුණුවක් ලබා තිබෙනවා” යයිද වොල්ෂ්  මහතා පැවසීය. 

“ඉන්දියාවට එරෙහිව පැවැති තරගය දිනුවා නම් හොඳයි. ඒත් ඒකෙන් අපට අවසන් මහ තරගයට කෙළින්ම එන්න තිබුණ අවස්ථාව අඩුයි. ඒත් මේ තරගය එහෙම නෙමේ. දිනන්නේ කවුරුන් වුණත් ඔවුන් අවසන් මහ තරගයට යනවා. වෙනස ඒකයි”.....“අපි ඒ අභියෝගයට සූදානම්” යයිද කර්ට්නි වොල්ෂ් මහතා වැඩිදුරටත් පැවසීය .

අද තරගය පස්වරු 7.00 ට අරම්භ වීමට නියමිතය. 

ශ්‍රී ලංකා සංචිතය
තිසර පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, ජීවන් මෙන්ඩිස්, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්, අමිල අපෝන්සු, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, නුවන් ප්‍රදීප් සහ ඉසුරු උදාන


බංග්ලාදේශ සංචිතය
මහමදුල්ලා රියාද් (නායක), සකීබ් අල් හසන්, ලිටන් දාස්, ටමීම් ඉක්බාල්, සෞම්‍ය සාකර්, මුෂ්ෆිකුර් රහීම්, සබීර් රෙහෙමාන්, මුස්ටෆිසුර් රෙහෙමාන්, රුබෙල් හොසේන්, අබූ ජයේද්, ටස්කින් අහමඩ්, ඉම්රුල් කේයස්, නුරුල් හසන්, මෙහෙදි හසන්, අරිෆුල් හක්, නුරුල් ඉස්ලාම් සහ අබූ හයිදර්

 


අදහස් (0)

ආත්ම විශ්වාසය රැකගැනීමේ තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.