Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි. මේ වසරේදී මේ දක්වා පැවැති තරගාවලි රැසකදීම ශ්‍රී ලංකා පිලට අත්වූයේ පරාජයයි. 2017 ජනවාරි මාසයේ සිට මේ දක්වා පැවැති ටෙස්ට් තරග 8 කින් තරග 6 ක් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 16 කින් ජයගත්තේ තරග 4 ක් පමණි. මේ අතරවාරයේදී කණ්ඩායමට එක්වූ සහ එයින් හැළීගිය ක්‍රීඩකයෝද රැසකි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධිතයන්ගේ ලයිස්තුව එන්න එන්නම දිගු වෙමින් තිබේ. ජාතික කණ්ඩායමේ හිස්වැස්ම දිනාගන්නා ක්‍රීඩකයන් සංඛ්‍යාවට වඩා ආබාධිත වන ක්‍රීඩකයන් ගණන වැඩිය. (මෙහි පහත දැක්වෙන වගුව බලන්න)
ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී සිටින වත්මන් අභාග්‍ය සම්පන්න කාලය සහ ඊට හේතු කාරණා සොයා යන ගමනේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති, හිටපු නායක සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවකදී මෙතෙක් සැඟවී තිබූ බොහෝ කරුණු කාරණා අනාවරණය කරගත හැකිවිය. ඒවායින් බහුතරයක් ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය රැකගැනීම සඳහා ක්‍රිකට් නිලධාරීන් විසින් ආරක්‍ෂාකරගනු ලැබ සිටින කාරණාය. ඇත්ත තත්ත්වය එසේ වුවත්, එම ආවරණය තුළම රැඳෙමින් ක්‍රීඩකයන් තමන්ගේ යුතුකම් කොටස ඉටුකිරීමට උත්සුක නොවන්නේ නම්, තමන්ගේ වගකීම වටහා නොගන්නේ නම්, සත්‍ය තත්ත්වය හෙළිදරව් කර හෝ ඔවුන් දිරිමත් කළ යුතුව තිබේ.
එංගලන්ත පිලේ හිටපු වේග පන්දු යවන්නකු වූ ඉයන් බොතම් වරක් අළු බඳුන තරගයකදී මහත් කම්මැලි විලාසයෙන් පන්දු යවමින් සිටියේය. බොතම්ගේ අලස බව දුටු එවකට එංගලන්ත නායකයාව සිටි බොබ් විලිස් “ඒයි ඉයන්, ඔයිට වඩා හොඳට පන්දු යවන්න උඹේ නැන්දම්මාටත් පුළුවන්” යයි කීවේය. සැණෙකින් සිහි එළවාගත් බොතම් විනාඩි කිහිපයක් ඇතුළත ඕස්ට්‍රේලියානු ඉනිම අවසන් කළේ කඩුලු 6 ක් දවාගනිමිනි.
කණ්ඩායම මුහුණ දී සිටින තත්ත්වයෙන් මුදවාගැනීමට කුමක් හෝ කළ යුතුව තිබේ. ක්‍රීඩකයන්ම මෙම තත්ත්වය වටහා නොගතහොත් නැතිවී යන්නේ ඔවුන්ගේම වෙළෙඳ වටිනාකමයි. එහි හානිය කොතෙක්ද යන්න අන් කිසිවකුට වඩා හොඳින් ක්‍රීඩකයෝම දනිති.
සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ පළමු කොට මෙසේ දිගහැරෙයි.
ප්‍රශ්නය : පසුගිය කාලයේදී ක්‍රීඩකයන් 60 කට වැඩි පිරිසක් වරින් වර මාරු කරලත් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ අපට අවශ්‍ය කණ්ඩායම හදාගන්න බැරිවුණේ ඇයි ? මොකක්ද ඇත්තටම තිබෙන ප්‍රශ්නය ?
පිළිතුර :
අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩාක් ආදරේ කරන මිනිස්සු මේ දවස්වන අහන ප්‍රශ්නය ඕක තමයි. අපේ සමහර පරණ ක්‍රීඩකයන් පවා මේ ගැන කතාකරලා තිබුණා. ඒත් මේ අය හිතුවොත් ඒ අය එතැන ඉන්නවා කියල, අන්න එතකොට ඒ අයට තේරෙයි අපි මේ තරම් ක්‍රීඩකයන් මාරු කරන්නේ ඇයි කියලා. ඒකට හේතුව තමයි විවිධ ආකාරයේ ශාරීරික ආබාධ දිගින් දිගටම ඇතිවීම. මේ ලයිස්තුව එන්න එන්නම දිගු වෙනවා.
එතකොට අහනවා ඇයි මේ ආබාධ ඇතිවෙන්නේ කියල. ඒත් ඒක තේරීම් කමිටුවට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමේ.
පසුගිය කාලයේ අපි වාර්තාවක් සකස් කළා. ඒ වාර්තාවේ තියනවා ඇයි අපි ක්‍රීඩකයන් මාරු කළේ කියලා. අපි කවුරු හරි ක්‍රීඩකයෙක් ගැන ඇහැ තියාගෙන බලා හිටියොත් ඒ ක්‍රීඩකයා මගදි කඩා වැටෙනවා. 2016 ඕස්ට්‍රේලියානු තරගාවලියේ ඉඳන් අද මේ දක්වා ටෙස්ට්, එක්දින සහ විස්සයි:20 තරග වලදී ක්‍රීඩකයන් කී දෙනෙක් ආබාධ වලට ලක්වුණාද කියලා ඒ වාර්තාවේ තියෙනවා. අවාසනාවට මේ වාර්තාව ගැන හුඟක් දෙනෙක් දන්නේ නෑ. ඒත් එක පැත්තක් විතරක් බලලා විවේචනය කරන එක සාධාරණ නෑ.
හැබැයි එකක්. තේරීම් කමිටු නිලධාරීන් වශයෙන් අපේ අතින් වුණත් වැරදි වෙන්න ඇති. අපි වුණත් ක්‍රීඩකයන් හය හත් දෙනෙක් ඉක්මනට ඉක්මනට මාරු කරලා ප්‍රතිඵල ලබාගන්න උත්සාහ කරන්න ඇති. අපි වුණත් බලන්නේ තරගය නැත්නම් තරගාවලිය දිනන්නේ කොහොමද කියලයි. ජයග්‍රහණය සොයා යද්දි අපි අතින් වුණත් වැරදි වෙන්න පුළුවන්. අපි ඒක පිළිගන්න ඕනේ.
මම වුණත්, හිටපු ක්‍රීඩකයෙක් හැටියටත්, හිටපු නායකයෙක් හැටියටත් ක්‍රීඩකයන් දිගින් දිගටම මාරු කරන්න කැමති නෑ.
ප්‍රශ්නය - මෙතන තියෙන්නේ කවුරු හරිද නැත්නම් කවුරු වැරදිද කියන ප්‍රශ්නය නෙමේ. මොකක්ද වැරැද්ද කියන එකයි. උදාහරණයක් හැටියට පසුගිය කාලයේදී අපට හිටපු වේග පන්දු යවන්නන් හැම කෙනාම වගේ මාසෙන් දෙකෙන් කඩා වැටෙනවා. සමහර අයට තරගාවලියක් එක දිගට ක්‍රීඩා කරන්න බෑ. සමහර අයට එක දිගට ඕවර 8 ක් පන්දු යවන්න බෑ. ඇයි ඒ ?
පිළිතුර :
පසුගිය අවුරුද්දේ තිබුණු ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේ ඉඳන් මේ දක්වා අලුත් ක්‍රීඩකයන් 15 කට ජාතික කණ්ඩායමේ හිස්වැස්ම දෙන්න වෙලා තියෙනවා. ඒත් ක්‍රීඩකයන් 26 ක් විවිධ ආබාධ වලට ලක්වෙලා තියෙනවා. මේ තත්ත්වය ගැන අපි (තේරීම් කමිටු නිලධාරීන්) වුණත් ඉන්නේ හරිම කණගාටුවෙන්.
ඒ එක්කම තවත් සමහර අය තරිඳු කෞෂාල් ගැනයි ජෙෆ්රි වැන්ඩසේ ගැනයි කතා කරලා තිබුණ. ඒත් මේ ගැන හුඟක් දෙනා දන්නේ නෑ. තරිඳු කෞෂාල්ගේ තත්ත්වය ගැන කිසි කෙනෙක් දන්නේ නෑ.
එයා කිව්වා පන්දු යැවීමේ ඉරියව්ව දැන් නිවැරදි කරගෙන තියෙන්නේ. පන්දු යවන්න පුළුවන් කියලා. ඒ නිසා අපි එයාව යැව්වා ඉන්දියාවට පරීක්‍ෂණය කරගෙන එන්න. ඒත් පරීක්‍ෂණය අසමත් වෙලා. දුස්රා පන්දුව යවන්න බෑ. ඊට පස්සේ ලංකාවට ඇවිත් පුහුණුවීම් කළා. තරග වලට සහභාගි වුණා. ඊට පස්සේ කිව්වා එංගලන්තයේ යන්න ඕන කියලා.
මෙයා (තරිඳු කෞෂාල්) වැඩ කළේ පියල් විජේතුංග (දඟ පන්දු යැවීමේ පුහුණුකරු) එක්ක. ඊට පස්සේ එංගලන්තයේ ඉන්දැද්දි මමම එයාට ඊ-මේල් එකක් යවල ලංකාවට ගෙනල්ල පියල් විජේතුංග එක්ක වාඩි කරවලා කතා කළා. එත් පියල් ඒ වෙලාවෙදි කිව්වේ මෙයාට (තරිඳු කෞෂාල්ට) ගොඩක් දේ කරන්න තියෙනවා කියලයි. එයාගේ පන්දු යැවීමේ තාක්‍ෂණික දෝෂයක් තියෙනවා කියලයි. හැබැයි පියල් කිව්වා මෙයා තමයි අපට ඉන්න හොඳම පිට දඟ පන්දු යවන්නා කියලා. පස්සේ අපි එයාව නැවතත් පියල්ටම බාර දුන්නා එයාගේ පන්දු යැවීමේ තාක්‍ෂණයේ තියෙන වරද නිවැරදි කරන්න කියලා. එයා සූදානම් වුණාම කියන්නම් කියලා පියල් කිව්වා.
වැන්ඩසේ මාත් එක්ක කෙළින්ම කතා කළා. එයා කිව්වා මට තවම තරගයක් ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙන්නේ 70% යි. මම ඉතුරු 30% ත් හදාගන්න කම් මට ටිකක් වෙලාව දෙන්න කියලා. බොහෝ වෙලාවට (ඉන්දියාවට එරෙහිව) එක්දින තරගාවලිය ආරම්භ වෙනකොට එයාගේ තත්ත්වය හරියන්න පුළුවන්. ඒත් මේ ක්‍රීඩකයන් ගැන කතාකරන අය මේ ගැන දන්නේ නෑ. මට තියෙන කණගාටුව ඒකයි. අපි ලංකාවට ආදරේ නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ නම් ඒ වෙනුවෙන් හොඳ දේ තමයි අපි කරන්නේ.
අනෙක් කාරණය තමයි තරග දිනන කොට කවුරුවත් තේරීම් කමිටුව ගැන කතා කරන්නේ නෑ. එහෙම අය ඉන්නවද කියල දන්නෙත් නෑ. ඒත් පරදිනකොට නම් තේරීම් කමිටුව තමයි වැරදි. මේක ස්වභාවිකයි. ඒකට අපි හුරු වෙලා තියෙන්නේ. ඒකට අපි මුහුණ දෙන්න ඕනේ. ඒක තමයි තේරීම් කමිටුවක් කියන්නේ. ඒකට මූණ දෙන්න බැරිනම් අපි ඒක නොකර ඉන්න ඕනේ.
ප්‍රශ්නය : පසුගිය කාලයේ අපි දැකපු දෙයක් තමයි වේග පන්දු යවන්නන් හොඳින් පන්දු යවමින් සිටියත් ඕවර 5 කින් 6 කින් පස්සේ පන්දු යැවීමේ වාරය නවත්වලා වෙනින් පන්දු යවන්නෙක් ගේනවා. එහෙම කරන්නේ ඇයි කියලා ඇහැව්වාම කියනවා අධික සූර්ය රශ්මියත් දහදිය දැමීමත් නිසා, පුහුණුකරුවන්ගේ උපදෙස් මත ක්‍රීඩකයන් ආරක්‍ෂා කරගන්න එහෙම කරනවා කියලා. ඒ ගන ඔබේ අදහස මොකක්ද ?
පිළිතුර : ඒ වෙලාවේ හැටියට කවුරුහරි හොඳට පන්දු යවමින් ඉන්නවා නම් මම එයාව දිගටම පන්දු යැවීමට යොදවනවා. කඩා වැටෙන්න පුළුවන්. ඒත් අවස්ථාවක් තියෙයි. මට තරගය දිනන්න ඕන. ඒ නිසා මම එයාව දිගටම පන්දු යැවීමට යොදවනවා.
කොහොම වුණත් එක එක නායකයන්ගේ විදිහ වෙනස්. ඒත් මම නායකයා නම් මම කරන්නේ ඒකයි.
ප්‍රශ්නය : පසුගිය කාලයේදී අපි දැක්කේ නෑ අපේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් විශාල ඉනිමකට යනවා. මොකද වෙලා තියෙන්නේ ?
පිළිතුර : මෙතන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන් ඒ (විශාල ඉනිමක් කරා යාමේ) වගකීම බාරගන්න ඕනා. ඒගොල්ලන් හොඳ ආරම්භයක් ගත්තොත් ලොකු ඉනිමක් ගහන්න ඕන. මටත් තියෙන ප්‍රශ්නය පළවෙනි පස්දෙනා තමයි. පළවෙනි පස්දෙනාගෙන් දෙන්නෙක් 100 දෙකක් ගහන්න ඕන. මම හැමදාමත් කියන්නේ ඒකයි. මම මෙතන හිටියත් නැතත්, වෙන්න ඕනෑ දේ ඒකයි. මේ පළමු පිතිකරුවන් පස්දෙනා ලකුණු ලබාගන්නේ නැතිව අපට ටෙස්ට් තරග දිනන්න බෑ.
ඒ නිසා මොන පීඩනය තිබුණත්, මේක තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය. මේ ක්‍රීඩාවේ යථාර්ථය මේකයි. පීඩනයක් නැතිව ක්‍රිකට් ගහන්න බෑ. පීඩනයක් නැතිව කිසිම ක්‍රීඩාවක් කරන්න බෑ. ඒ හින්දා අවශ්‍ය සූදානම තියෙනවා නම් ඒ අයට වෙන ප්‍රශ්නයක් නෑ. ඒ හින්දා තමන් දැනගන්න ඕනා කොහොමද තමන්ගේ ක්‍රීඩාව ඉහළට නංවා ගන්නේ කියලා.
ප්‍රශ්නය - අපේ ඉදිරිපෙළ පිතිකරුවන් පස් හය දෙනාගේ ශක්තිමත් අංශ මොනවාද දුර්වල අංශ මොනවාද කියලා කිසියම් තාක්‍ෂණික අගැයීමක් කරලා තියෙනවාද ?
පිළිතුර - තේරීම් කමිටුව හැටියට ඒක මට අයිති දෙයක් නෙමේ. ඒත් පුහුණුකරුවන් ඒක කරල ඇති. අපට ඉන්න හොඳම ක්‍රීඩකයන්ගේ පැරණි දස්කම් බලලා, ඒ අය දැන් ඉන්න තත්ත්වයත් බලල තමයි අපි ඒ අයට අවස්ථාව දෙන්නේ. අපේ උත්සාහය පිතිකරුවකුට වැඩිපුර අවස්ථාවක් දෙන්නයි. මොකද එක පාරටම එක ඉනිමෙන් දෙකෙන් විශාල ලකුණු වලට යන්න බෑ.
සමහර වෙලාවට දිමුත් කරුණාරත්න හෝ කුසල් මෙන්ඩිස් අසාර්ථක වෙන්න පුළුවන්. ඒත් අපි එයාලත් එක්ක ඉන්නවා. සමහර විට චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් නැත්නම් අසේල ගුණරත්නත් අසාර්ථක වෙන්න පුළුවන්. ඒත් අපි එයාලත් එක්ක ඉන්නවා. මේ පළමු හය දෙනා, පළමු හය දෙනා කිව්වේ හත්වැනි පිතිකරුවා අපි එහාට මෙහාට කරනවා පන්දු යවන්නන් එක්ක. ඒ කණ්ඩායමේ සමබරතාව තියාගැනීමට. ඒ නිසා මේ හය දෙනාට පුළුවන් තරම් අවස්ථාව දෙනවා.
සාකච්ඡා කළේ - දමින්ද විජේසූරිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.