Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දීය යොවුන් පිල කඩුලු 4 ට 428 යි

ඉන්දීය යොවුන් පිල කඩුලු 4 ට 428 යි

Nisanka Sandeepani - 2018 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ ඉන්දීය වයස 19 න් පහළ පිල අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24) ආරම්භ වූ දෙවැනි සහ අවසන් සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ඉන්දීය යොවුන් පිල කඩුලු 4 ක් දැවී ලකුණු 428 ක් රැස්කරමින් ප්‍රබල තත්ත්වයක පසු විය. 
 
පළමු දිනයේ වූ අද පස්වරුවේ ක්‍රීඩාව අත්හිටුවන විට පවන් ෂා (නොදැවී 177) සහ නෙහාල් වදෙරා (නොදැවී 05) පන්දුවට පහර දෙමින් සිටියහ.
 
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මෙම ඉනිමේදී සැළැස්මක් තිබුණේ ද යන්න සැක සහිතය. විශේෂයෙන් දඟ පන්දු යවන්නන් පන්දු සංකලනයන් තුළින් පීඩනයක් යොමු කිරීමට අපොහොසත් වීමෙන් ඉන්දීය පිතිකරුවෝ නිදහසේ පන්දුවට පහර දුන්හ. 
 
ඉනිමේ 40 වැනි ඕවරයේදී පමණ හතරේ පහර වැළැක්වීම සඳහා හතරේ සීමාව අසළ පන්දු රකින්නන් ස්ථානගත කිරීම පමණක් සැළසුමක් ලෙස දැකගත හැකිවිය.
 
ඉන්දීය යොවුන් පිතිකරුවෝ අද දිනයේ ඕවර 90 ට ලකුණු 4.75 ක සාමාන්‍යයක් පැවැත්වූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හය දෙනාට 56 වැනි ඕවරය දක්වා නිලකුණු ඕවරයක් යැවීමට නොහැකි වූ අතර විජයකාන්ත් වියස්කාන්ත් 56 වැනි ඕවරය නිලකුණු ඕරයක් ලෙස සම්පූර්ණ කළේය.  
 
පවන් ෂා පන්දු 227 කදී හතරේ පහර 19 ක් සමගින් නොදැවී ලකුණු 177 ක් රැස් කර සිටියි. පවන් ෂා ලකුණු 110 ක් ලබා සිටියදී තේ විවේකයෙන් පසුව කලන පෙරේරා යැවූ පළමු ඕවරයේදී කඩුලු රකින නිෂාන් මධුෂ්ක වෙතින් පහසු උඩ පන්දුවක් ගිලිහි යෑම දැඩි පාඩුවක් බවට පත්විය.  
 
විජයකාන්ත් වියස්කාන්ත් තේ විවේකයට පෙර ඕවරයේදී අතර්වා ටයිඬේ ලකුණු 177 ක් ලබා සිටියදී දවා ගැනීමට සමත් විය. මෙය ටයිඬේ පිට පිටම රැස්කළ දෙවැනි ශතකය වන අතර ඔහුගේ පන්දු 172 ක වේගවත් ඉනිම හතරේ පහර 20 කින් සහ හයේ පහර 3 කින් වර්ණවත් විය. 
 
අතර්වා ටයිඬේ සහ පවන් ෂා දෙවැනි කඩුල්ලට පන්දු 278 කින් ලකුණු 263 ක සම්බන්ධතාවක් පැවැත්වීමෙන් තරගයේ පාලනය ඉන්දීය පිලට නතු විය. 
 
අතර්වා ටයිඬේ සහ පවන් ෂා දිවා විවේකය වන විටත් දෙවැනි කඩුල්ලට ලකුණු 107 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ. මෙම පිතිකරුවන් දෙපළ නිදහසේ පන්දුවට පහර දීමේ ප්‍රතිඵලයෙන් ඉන්දීය පිල දිවා විවේකය වන විට ඕවර 28 කදී කඩුල්ලක් දැවී ලකුණු 147 ක් රැස්කර කිරීමට සමත්ව තිබුණි. එහි සාමාන්‍ය ඕවරයකට ලකුණු 5.25 කි. 
ඉන්දීය යොවුන් පිලේ පළමු කඩුල්ල ලෙස නායක අනුජ් රාවට් (11) කල්හාර සමින්දගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. 
 
මෙම තරගයට ශෂික දුෂාන්ගේ ස්ථානයට යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ වේග පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් කැඳවා තිබුණි. 
 
පළමු තරගයේදී තුවාල ලැබූ දුනිත් වෙල්ලාලගේ වෙනුවට මෙම තරගයට මෙම තරගයට සොනාල් දිනූෂ මෙම තරගයට ක්‍රීඩා කරයි.
 
ඉන්දීය පිල වෙනස්කම් තුනක් කරමින් හර්ෂ් ත්‍යාගි, ආකාෂ් පාණ්ඬේ, යාෂ් රතෝද් ඉවත් කරමින් අර්යන් ජායල්, යාටින් මග්වානි, සිද්ධාර්ත් දේසායි මෙම තරගයට කැඳවා සිටිති. 
ඉන්දීය පිලේ නායක අනුජ් රාවට් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
හෙට (25) තරගයේ දෙවැනි දිනයයි.  
 
ලකුණු පුවරුව
 
ඉන්දීය වයස 19 න් පහළ පිල පළමු ඉනිම  
අතර්වා ටයිඬේ - ඇ. මධුෂ්ක ප. විජයකාන්ත් 177 
අනුජ් රාවට් - ප. කල්හාර 11
පවන් ෂා - නොදැවී 177
දෙව්දූට් පඩික්කල් - දුවද්දී දැවී ගියා 6
ආර්යන් ජුයල් - දුවද්දී දැවී ගියා 41
නෙහාල් වදෙරා - නොදැවී 5
අතිරේක 11
එකතුව ඕවර 90 කදී කඩුලු 4 ක් දැවී 428
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
අයාෂ් බදෝනි, අර්ජුන් තෙන්ඩුල්කාර්, මෝහිත් ජන්ග්‍රා, යාටින් මග්වානි, සිද්ධාර්ත් දේසායි 
කඩුලු වැටීම:
1-40(රාවට්), 2-303(ටයිඬේ), 3-331(පඩික්කල්), 4-407(ජුයල්)
පන්දු යැවීම:
කලන පෙරේරා: 13-1-58-0, නිපුන් මාලිංග: 10-1-50-0, කල්හාර සමින්ද: 26-1-128-1, සඳුන් මෙන්ඩිස්: 14-2-67-0, විජයකාන්ත් වියස්කාන්ත්: 18-2-80-1, සොනාල් දිනූෂ: 9-0-41-0
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල 
කමිල් මිෂාර, නිෂාන් මධුෂ්ක, නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, පසිඳු සූරියබණ්ඩාර, සඳුන් මෙන්ඩිස්, කල්හාර සමින්ද, නිපුන් මාලිංග, සොනාල් දිනූෂ්, කළන පෙරේරා, විජයකාන්ත් වියස්කාන්ත් 

අදහස් (0)

ඉන්දීය යොවුන් පිල කඩුලු 4 ට 428 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.