Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාව ලකුණු 76 කින් අයර්ලන්තය පරදවයි

ඉන්දියාව ලකුණු 76 කින් අයර්ලන්තය පරදවයි

ශනුක අරවින්ද - 2018 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුල්දීප් යාදව්ගේ සහ යුස්වින්දර් චාහල්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අයර්ලන්තයට එරෙහිව ඩබ්ලින්හිදී පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 76 ක පහසු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 209 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ ලකුණු 132 කට සීමා කිරීමට යාදව් සහ චාහල් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

සිය විස්සයි20 ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ යාදව් ලකුණු 21 කට කඩුලු 4 ක් බිඳ දැමුවේ නිලකුණු ඕවරයක්ද සමගිනි. අයර්ලන්ත ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් චාහල් ලකුණු 38 කට කඩුලු 3 ක් දවාගත්තේය.

පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑම අයර්ලන්ත කණ්ඩායමට විශාල පාඩුවක් වූ අතර අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු ජේම්ස් ශැනෝන් පන්දු 35 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 60 ක් රැස්කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 96 කදී ලකුණු 160 ක් සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා (97) සහ ශිකර් ධවාන් (74) සමත් වූහ.

කලකට පසු ලකුණු අතරට පැමිණි ශර්මා ශතකයට ලකුණු 3 ක් පසුපසින් සිටියදී පීටර් චේස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා ඉතා අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්ව ගියේය. පන්දු 61 කදී වාර්තා වූ ඔහුගේ වේගවත් ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය. එහිදී පන්දු 45 කට මුහුණදුන් ධවාන්, හයේ පහර 5 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසීය.

සෙසු පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන්ගෙන් දැඩි පහර කෑමට ලක්වෙද්දී, අයර්ලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ පීටර් චේස් ලකුණු 35 කට කඩුලු 4 ක් බිඳහෙළීය.

 

ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 211
(රෝහිත් ශර්මා 97, ශිකර් ධවාන් 74, පීටර් චේස් 35/4)

අයර්ලන්තය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 132
(ජේම්ස් ශැනෝන් 60, කුල්දීප් යාදව් 21/4, යුස්වින්දර් චාහල් 38/3, ජස්ප්‍රීත් බුම්රා 19/2)

-036


අදහස් (0)

ඉන්දියාව ලකුණු 76 කින් අයර්ලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.