Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ පස්වැනි තරගය ලෙස ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (25 වැනිදා) ඩුබායි ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය දෙපිලේම ලකුණු සමාන වීම නිසා ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 253 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 49.5 ක් අවසානයේ ලකුණු 252 කට සීමා කිරීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රෂීඞ් ඛාන්, මොහොමඞ් නබී සහ අෆ්ටාබ් අලාම් කඩුලු 2 බැගින් දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.
තරගය ජයගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට රෂීඞ් ඛාන් යැවූ අවසන් ඕවරයේදී ලකුණු 7 ක් රැස්කිරීමට සිදුවූ අතර ඒ වන විට රවින්ද්‍ර ජදේජා සමගින් අවසන් පිතිකරුවා වූ කලීල් අහමඞ් පිටියේ රැදී සිටියේය. කඩුලු 9 ක් බිඳවැටී තිබීම හේතුවෙන් අවසන් කඩුල්ලද ආරක්ෂා කරගනිමින් එම ලකුණු සංඛ්‍යාව හඹායෑමේ වැඩි වගකීමක් ජදේජාට පැවරිණ.
එම ඕවරයේ පළමු පන්දුවට ලකුණු ලබා නොගත් ජාදේජා, දෙවැනි පන්දුව හතරේ සීමාව කරා යැවූයේ ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු තවත් ඉහළ නංවමිනි. ඉන් අනතුරුව ඉතිරි පන්දු 4 දී තරගය ජයගැනීම සඳහා තවත් ලකුණු 3 ක් ලබාගත යුතුව තිබිණ. එවැනි අවස්ථාවක තෙවැනි පන්දුවට ලකුණක් ලබාගත් ජදේජා, සිවුවැනි පන්දුවට පහරදීමේ අවස්ථාව අහමඞ්ට ලබාදුන්නේ නරඹන්නන්ගේ නළලත රැළිගන්වමිනි.
සියලු දෙනා තමා වෙත තබා තිබූ බලාපොරොත්තු සුනුවිසුණු වී යෑමට ඉඩක් නොදුන් අහමඞ්, ඇෆ්ගනිස්තාන පන්දු රකින්නන්ගේ දැඩි රැකවල් මැද සිවුවැනි පන්දුවේදී ජදේජා සමග ලකුණු සඳහා පැති මාරු කරගත්තේ දෙපිලේම ලකුණු සංඛ්‍යාව සම තත්වයට පත්කරමිනි. ඒ අනුව අවසන් පන්දු දෙකේදී ලකුණක් ලබාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අවස්ථාව ජදේජාට හිමිවිය.
එවන් අවස්ථාවක කෙටි ලකුණක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවට විශාල පහරක් කරා යෑමට ජදේජා ගත් තීරණය වැරදී ගියේ ඔහුගේ පිත්තේ වැදී ඉහළින් ඇදී ගිය පන්දුව උඩ පන්දුවක් ලෙස රැකගැනීමට මිඞ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි නජිබුල්ලා සද්‍රාන් සමත් වීම හේතුවෙනි. ඒ අනුව දෙපිලේම ලකුණු සංඛ්‍යාවන් සම තත්වයේ තිබියදී ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුල්ලත් බිඳ වැටිණ.
ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලෝකේෂ් රාහුල් (60) සහ අම්බටි රයිඩු (57) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 103 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 66 කදී වාර්තා වූ රාහුල්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත වූ අතර පන්දු 49 කට මුහුණදුන් රයිඩු හයේ පහර 4 කින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය.
පිතිහරඹ ලැයිස්තවේ උසස්වීමක් ලබා තෙවැනි පිතිකරු ලෙස පන්දුවට පහරදීමට පිටියට පිවිසි දිනේෂ් කාර්තික් පන්දු 66 කදී ලකුණු 44 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. ඉතා දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් සිටියදී ඔහු මොහොමඞ් නබීගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු නොවන්න තරගයේ ප්‍රතිඵලය මීට හාත්පසින්ම වෙසන් වීමට ඉඩ කඩ තිබිණ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ ලකුණු 252 ක් ලබාගත්තේය. ඇෆ්ගනිස්තාන ඉනිමේ කොඳුනාරටිය බවට පත් වූ ආරම්භක පිතිකරු මොහොමඞ් ශේෂාඞ් පන්දු 116 කදී ලකුණු 124 ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 7 ක් සහ හතරේ පහර 11 ක් සමගිනි.
මුල් කඩුලු 4 ලකුණු 82 ක් තුළ බිඳවැටී තිබූ අවස්ථාවේදී ගුල්බඩීන් නයිබ් (15) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශේෂාඞ්, ඉන් නොනැවතී නජිබුල්ලා සද්‍රාන් (20) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ හිටපු නායක මොහොමඞ් නබී, පන්දු 56 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 64 ක් රැස්කරමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය. හත්වැනි කඩුල්ල වෙනුවෙන් නජිබුල්ලා සද්‍රාන් (20) සමග එක්ව ලකුණු 46 ක සම්බන්ධතාවක් පැවැත්වීමටද නබී සමත් විය.
මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනෙක්ම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාගනිමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පීඩනයට පත්කිරීමට ඉන්දීය දඟ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ජාවේද් අහමදි (5) සහ රාමට් ෂා (3) දවාගැනීමට රවින්ද්‍ර ජදේජා සමත් වූ අතර හෂ්මතුල්ලා ශහිදි සහ අස්ගර් ඇෆ්ගන් ලකුණු ලබාගැනීමටත් මත්තෙන් පිටියෙන් ඉවත් කිරීමට කුල්දීප් යාදව් සමත් විය.
ඉන්දීය කණ්ඩාමේ නායක රෝහිත් ශර්මා මෙම තරගයට සහභාගි නොවූ අතර එහිදී හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලැබිණ. ඒ අනුව එක්දින තරගයකදී දෝනි ඉන්දීය කණ්ඩායම මෙහෙයවන 200 වැනි අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක්විය.
ආරම්භක පිතිකරු ශිකර් ධවාන් මෙන්ම බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රීට් බුම්රා සහ යුස්වේන්ද්‍ර චාහල් යන ක්‍රීඩකයන්ද අද තරගයට සහභාගි නොවූ අතර ඔවුන් වෙනුවට ලොකේෂ් රාහුල්, මනීෂ් පාණ්ඬේ, දීපක් චාහර්, සිද්ධාර්ත් කෞල්, සහ කලීල් අහමඞ් ඉන්දීය කණ්ඩායම කැඳවා සිටියහ.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් මෙම තරගයට සහභාගි වූ අතර ශමිවුල්ලා ෂෙන්වරි සහ ඉසනුල්ලා ජානට් වෙනුවෙට නජිබුල්ලා සද්රාන් සහ ජාවෙද් අහදි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට කැඳවා සිටියහ.
ඇෆ්ගනිස්තානය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 252
(මොහොමඞ් ශේෂාඞ් 124, මොහොමඞ් නබී 64, ගුල්බඩීන් නයිබ් 15, නජිබුල්ලා සද්‍රාන් 20, රවින්ද්‍ර ජදේජා 46/3, කුල්දීප් යාදව් 38/2)
ඉන්දියාව - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 252
(ලෝකේෂ් රාහුල් 60, අම්බටි රයිඩු 57, දිනේෂ් කාර්තික් 44, කේදර් ජාදව් 19, රවින්ද්‍ර ජදේජා 25, රෂීඞ් ඛාන් 41/2, මොහොමඞ් නබී 40/2, අෆ්ටාබ් අලාම් 53/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.