Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියානුවෝ ඕස්ට්‍රේලියාවට රිදෙන්නම තලති

ඉන්දියානුවෝ ඕස්ට්‍රේලියාවට රිදෙන්නම තලති

Nisanka Sandeepani - 2018 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායක විරාට් කෝලි සහ චෙටේස්වාර් පුජාරා එක්ව ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට රිදෙන්නට තැලීමෙන් පසුව රෝහිත් ෂර්මා තමාගේ කොටස පටන් ගත්තේය. ෂර්මා නොදැවී ලකුණු 63 ක් ලබා සිටියදී සිය පිතිකරුවන් ආපසු ක්‍රීඩාගාරයට කැඳවූ නායක විරාට් කෝලි කඩුලු 7 ට ලකුණු 443 ක් ලබා සිටියදී ඉන්දීය මුල් ඉනිම නතර කළේය. 

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (27 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියාව කිසිවකු නොදැවී ලකුණු 8 ක් ලබා සිටියේය. 

කෝලිගේ අරමුණ වූයේ දිනයේ අවසන් ඕවර කිහිපයේදී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවකු දවාගැනීම වුවත් සන්ධ්‍යාවේදී යැවුණු ඕවර 6 ඇතුළතදී සිය කඩුලු ආරක්‍ෂා කරගැනීමට මාකස් හැරිස් සහ ඒරන් ෆින්ච් දෙදෙනාට හැකිවිය. 

ඊයේ තේ පානයෙන් පසුව සවස් වරුව පුරාම පන්දුවට පහර දුන් චෙටේස්වාර් පුජාරා සහ විරාට් කෝලි දෙදෙනා අද පෙරවරුවේදීත් සිය පිති බිම නොතැබූහ. තුන්වැනි කඩුල්ල වෙනුවෙන් දෙදෙනා අතර පැවැති සම්බන්ධතාව ලකුණු 170 කි. එහෙත් දිවා ආහාරයෙන් පසුව ටික වේලාවකදී දෙදෙනාම පිටියෙන් ඉවත් වූහ. 

එතැන් සිට ඕස්ට්‍රේලියානුවන්ට  දඬුවම් දීම ඇරඹූ රෝහිත් ෂර්මා පන්දු 114 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 63 ක් ලබාගත්තේ තවත් ශතකයක් කරා යාමේ අපේක්‍ෂාවෙනි. ඊට පෙර විරාට් කෝලි ඉනිම අත්හිටුවීය. කෙසේ වෙතත් ෂර්මා ලකුණු 15 ක් ලබා සිටියදී නේදන් ලයන් හමුවේ ගැසූ පහරකින් ඉගිළුණු පන්දුව ස්ක්වෙයාර් ලෙග්හි සිටි පීටර් සිඞ්ල් බිම දැමීමෙන් පිතිකරුවාට වාසනාව උදාවිය. 

මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ ඒරන් ෆින්ච්ට උඩපන්දුවක් දෙමින් ශතකය පෙනි පෙනී දැවී ගිය විරාට් කෝලි තවත් ලකුණු 18 ක් ලබාගත්තේ නම් ඔහුගේ ළමා කාලයේ වීරයා වූ සචින් තෙන්ඩුල්කාර් අභිබවා යාමේ අවස්ථාවක් තිබිණ. තෙන්ඩුල්කාර් ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් ශතක 6 ක් ලබා සිටින අතර මේ වන විට කෝලි සහ තෙන්ඩුල්කාර් දෙදෙනාම ශතක 6 ක් බැගින් ලබා සමව සිටිති. 

පන්දු 318 කට මුහුණ දෙමින් ඒවායින් 10 ක් හතරේ සීමාවට යැවූ පුජාරා නොසැලී සිය පිතිහරඹය කරගෙන යමින් සිටියදී පැට් කමින්ස් යැවූ පන්දුවක් තණතීරුවේ පහතින් පැමිණ පුජාරාගේ කඩුල්ලට කඩාවැදුණේය. පුජරා මේ වන විට මෙම තරගාවලියේදී ශතක දෙකක්ම ලබාගෙන තිබේ. 

මෙල්බර්න් ක්‍රීඩාංගණයේ තණතීරුව සම්බන්ධයෙන් විවිධ මතවාද ඇතිවීමට පටන් ගෙන තිබේ. බෝඩර් - ගවස්කාර් කුෂලාන තරගාවලිය මේ වන 1-1 ක් ලෙසින් සමව පවතින අතර මෙල්බර්න් තරගයේ තීරණය මත එහි ඉරණම විසඳෙනු ඇත. පසුගිය වසරේදී මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවැති අළු බඳුන ටෙස්ට් තරගය ඉතාමත් අළෂ ලීලාවෙන් ජය පරාජයෙන් තොරව නිමා වූ අතර මෙල්බර්න් තණතීරුව ‘කමකට නැති එකක්’ යයි දැඩි විවේචන එල්ල විය. 

ඉන්දියාව - කඩුලු 7 ක් දැවී 443
(මයන්ක් අග්‍රවාල් 76, චෙටේස්වාර් පුජාරා 106, විරාට් කෝලි 82, අජින්ක්‍යා රහනේ 34, රෝහිත් ෂර්මා නොදැවී 63, රිෂාබ් පන්ට් 39, මිචෙල් ස්ටාක් 87/2, බැට් කමින්ස් 72/3)

ඕස්ට්‍රේලියාව  - කිසිවකු නොදැවී 8

 


අදහස් (0)

ඉන්දියානුවෝ ඕස්ට්‍රේලියාවට රිදෙන්නම තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.