Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තෙවැනි කඩුල්ල සදහා විරාට් කෝලී (නොදැවී 156) සහ මුරලි විජේ (155) විසින් පැවැත්වූ ලකුණු 283 ක සම්බන්ධතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිල්ලි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී අද (02 වැනිදා) ආරම්භවූ තෙවැනි ටෙස්ට් තරගය පළමු දිනය සදහා නතර කරනවිට පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 371 ක් රැස්කරමින් තරගයේ වැඩි වාසි හිමිකර ගැනීමට සමත්විය.
දිවා ආහාරයට පෙර කඩුලු 2 ක් දැවී ලකුණු 116 ක් රැස්කළ ඉන්දීය පිතිකරුවෝ දිවා ආහාරයෙන් පසුව තේ පානය දක්වා කාළය තුළ කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින් ලකුණු 129 ක් ද තේ පානයෙන් පසුව දිනය නිමාවන තෙක් කාළය තුළ කඩුල්ලු 2 ක් ලබා දෙමින් ලකුණු 126 ක්ද රැස්කළහ.
විසිවැනි ටෙස්ට් ශතකය රැස්කළ විරාට් කෝලී ලකුණු 156 ක් ද රෝහිත් ශර්මා ලකුණු 6 ක්ද ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
ලකුණු 5000 සිමාව පසුකළ 11 වැනි ඉන්දීය පිතිකරුවා බවට පත්වීමට විරාට් කෝලී සමත් වූ අතර එම සිමාව අඩුම ඉනිම සංඛ්‍යාවකදී (105) පසුකළ සිවුවැනි පිතිකරුවාද විය. නායකත්වයට පත්වීමෙන් අනතුරුව ලකුණු 3000 ක් රැස්කිරීමටද කෝලී අද සමත්විය.
ශ්‍රී ලංකාව සමගින් සහභාගීවූ අවසන් තරග 5 තුළදී ද්විත්ව ශතකයක් සහ ශතක දෙකක් සමගින් ලකුණු 478 ක් රැස්කිරීමට විරාට් කෝලී සමත්වී ඇත.
ඩිල්රුවන් පෙරේරා විසින් තරගයේ යවන ලද 64 වැනි ඕවරයේදී ලකුණු 103 ක් රැස්කරගෙන සිටි විරාට් කෝලි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීම සදහා කළ ඉල්ලීමක් කළද ප්‍රධාන විනිසුරු විසින් එය ප්‍රතික්‍ෂේප කළේය. නායක දිනේෂ් චන්දිමාල් පන්දුයවන්නා සහ අනෙක් ක්‍රීඩකයින්ගෙන් විමසීමෙන් අනතුරුව විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියද පුණරූපන නැරඹූ තෙවැනි විනිසුරුද ප්‍රධාන විනිසුරුගේ තීරණය සමගින් එකඟවීම හේතුවෙන් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටීමේ එක් අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අහිමිවී ගියේය.
පිතිකරු පන්දුවට පහරදෙන ආකාරය හොදින් නිරීක්‍ෂණය කළ දිනේෂ් චන්දිමාල් විසින් ලෙග් ස්ලිප්හී පන්දු රැකීම සදහා සධීර සමරවික්‍රම යොදවා ගනිමින් චෙතේෂ්වර් පුජාරාගේ කඩුල්ල දවා ගැනීමට සමත්විය. ළහිරු ගමගේගේ පන්දු යැවීම හමුවේ ලකුණු 23 ක් රැස්කර සිටි පුජාරා දැවීයන විට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 78 කට කඩුලු 2 ක් විය.
සුරංග ලක්මාල්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩු තරග සංඛ්‍යාවකදී කඩුලු 100 ක් දවාගැනීමේ වාර්තාවට හිමිකම්කි ඩිල්රුවන් පෙරේරා විසින් ශීකරු ධවාන් දවාගනිමින් තරග 25 කදී මෙම දස්කම කිරීමට සමත්විය. තරග 27 කදී කඩුලු 100 ක් දවාගනිමින් මුත්තයියා මුරලිදරන් විසින් මීට පෙර එම වාර්තාවට කිමිකම් දැරීය.
සිය 11 වැනි ටෙස්ට් ශතකය රැස්කළ මුරලි විජේ ලකුණු 155 ක් රැස්කර සිටියදී ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවන් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය. දෙවැනි ටෙස්ට් තරගයේදීද ශතකයක් රැස්කළ මුරලි විජේ පිට පිට තරග දෙකකදී ශතක රැස්කළ අතර අවසන් තරග 10 තුළදී ශතක 4 ක් සහ එක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 713 ක් රැස්කිරීමට සමත්වී ඇත.
මෙම තරගාවලියේදී නැවතත් අසාර්ථක පිතිහරඹයක නිරතවූ අජින්ක්‍යා රහනේ ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය. ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ දැවීයන විට අජින්ක්‍යා රහනේට රැස්කිරීමට හැකිවූයේ එක් ලකුණක් පමණි. ශ්‍රී ලංකා තරග සංචාරයේදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 229 ක් රැස්කළ රහනේට මෙම තරගාවලියේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 7 ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදු කරමින් රංගන හේරත්, ළහිරු තිරිමාන්න සහ දසුන් ශානක කණ්ඩායමෙන් ඉවත්කර ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා සහ ලක්ෂාන් සඳකැන් කණ්ඩායමට කැඳවූහ.
ඉන්දීය කණ්ඩායමේද වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර ඉනිම 12 කදී ටෙස්ට් අර්ධ ශතක 9 ක් ලබාගත් ලෝකේෂ් රාහුල් සහ වේගපන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදව් කණ්ඩායමෙන් ඉවත්කර ශීකර් ධවාන් සහ මොහොමඞ් ශාමී කණ්ඩායමට එක්වූහ. ලකුණු අතරට නොපැමිණි අජින්ක්‍ය රහනේ හට ලකුණු අතරට පැමිණෙමින් දක්ෂතා දැක්වී සදහා තවත් අවස්ථාවක් ලබාදිම හේතුවෙන් ලකුණු අතර සිටි ලෝකේෂ් රාහුල්ට කණ්ඩායමේ ස්ථානය අහිමිව ගියේය.
දකුණතින් පන්දුවට පහරදෙන රොෂේන් සිල්වා ටෙස්ට් වරම් හිමිකර ගනිමින් හිටපු ටෙස්ට් පිතිකරු තිලාන් සමරවීර මහතා අතින් හිස් වැස්ම ලබාගත්තේය.
කාසියේ වාසිය දිනාගත්තේනම් පන්දුවට පහරදීමට සිටි බවත් අවාසනාවකට අපට එය පාළනය කළ නොහැකි බවත් කාසියේ වාසිය පරාජවීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.
ඉන්දීය කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට බලාපොරොත්තු වන බවත් දෙවැනි තරගයෙන් පසුව කණ්ඩායමක් විදියට අපට වැරදුනේ කොතැනද යන්න ගැනත් සාකච්ජා කළ බව පැවසීය.
“මම හිතනවා ටෙස්ට් වරම් හිමිකර ගැනීමට ඔහු (රොෂේන්) යෝග්‍ය බව. දේශීය තරග වලදි ඔහු ගොඩක් ලකුණු රැස්කර තිබෙනවා. මට විශ්වාසයි ඔහු ගැන. ඔහුගේ උපරිමයෙන් දායක වෙයි වගේම ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිවී” යැයි චන්දිමාල් වැඩිදුරටත් පැවසීය.
“අපි පළමුව පන්දුවට පහරදෙන්න තීරණය කළා. තණතීරුව පළමුව පන්දුවට පහර දෙන්න යෝග්‍යයි. පළමු ඕවර කිහිපයේදී පන්දු යවන්නන්ට වාසි දායක වෙයි. අපට ඕන අභියෝග බාරගන්න. හැම තරගයක්ම අපිට වැදගත්. ප්‍රතිවාදීන්ව සැහැල්ලුවට ගන්නේ නෑ” යැයි කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ නායන විරාට් කෝලී පැවසීය.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලී පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.