Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියානුවෝ පළමු පහර ගහති

ඉන්දියානුවෝ පළමු පහර ගහති

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විරාට් කෝලි සහ අජින්ක්‍යා රහනේ එක්ව තුන්වනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 189 ක සම්බන්ධතාව මත සිටගත් ඉන්දියානුවෝ ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු වැනි එක්දින (දිවා/රාත්‍රී) තරගයේදී කඩුලු 6 ක පහසු ජයක් අත්කරගත්හ. මෙම ජයත් සමගින් තරග 6 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් ඉන්දිය පිල පෙරමුණ ගත්තේය.

ඉන්දීය ජයග්‍රහණයේ පදනම දැමූ කෝලි ලකුණු 112 ක් ලබාගත්තේ පන්දු 27 ක් ඉතිරිව තිබියදී ලකුණු 270 ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට ඉන්දියානු පිලට පාර කපා දෙමිනි. පන්දු 119 කට මුහුණ දුන් කෝලි හතරේ පහර 10 ක් ඊට ඇතුළත් කළ අතර අජින්ක්‍යා රහනේගේ පන්දු 86 ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.

“ඒක අති විශේෂ ජයග්‍රහණයක්”

“තරගාවලියක පළමු තරගය කොහොමටත් සුවිශේෂී තමා. ඒත් අන්තිම ටෙස්ට් තරගයේදී ලබාගත් ජයග්‍රහණයේ හයිය මේ තරගයටත් ගේන්න අපට උවමනා වුණා” යයි විරාට් කෝලි ජයග්‍රහණයෙන් පසුව පැවසීය.

මේ වන විට එක්දින ශතක 33 ක හිමිකරුවා වී සිටින ඉන්දීය නායකයා ඒවායින් 20 ක් ලබාගෙන ඇත්තේ ඉලක්කයක් හඹා යන විටදී, හෙවත් දෙවැනි වර පන්දුවට පහරදෙමිනි.

“ඒක පහසුයි”

“ලකුණු පුවරුවේ ඉලක්කම් කීපයක් තියෙන කොට ඒක කොටස් වලට කඩාගන්න පහසුයි. එතකොට අපි හරියටම දන්නවා ඒ ඒ පන්දු යවන්නාගෙන් අප ලබාගත යුත්තේ මොනවාද කියන එක...මගේ තරග රටාවට ඒක හොඳයි” යයිද කෝලි පැවසීය.

සිය මව්බිමේදී එක දිගට එක්දින තරග 17 ක් ජයගෙන සිටි දකුණු අප්‍රිකාවේ වාර්තාව ඉන්දීය ජයග්‍රහණය නිසා බිඳ වැටිණ. දකුණු අප්‍රිකානුවන් එක්දින තරගාවලියට පිවිසියේදී ලෝකයේ අංක 1 කණ්ඩායම වශයෙනි. දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩුප්ලෙසි ශතකයක් ලබාගත් නමුත් ආරම්භයේ සිටම තරගයේ පාලනය ඉන්දියානුවන් අත රැඳිණ.

වේග පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරු ඇතැයි කියැවුණද දඟ පන්දු යවන්නන් වන යුෂ්වේන්ද්‍ර චාහල් සහ කුල්දීප් යාදව් කණ්ඩායමට තෝරා ගැනීම ඉන්දියාවට බෙහෙවින් වාසි සහගත විය. මෙම පන්දු යවන්නන් දෙදෙනා විසින් කඩුලු 5 ක් බිම දමන ලදහ. පන්දු 112 කදී ලකුණු 120 ක් ලබාගත් ෆෆ්ගේ ශතකය නිසා දකුණු අප්‍රිකානු ඉනිම තරමක් ස්ථාවර වූ නමුත් ඊට වේගය එක්වූයේ ඉනිමේ අවසන් කොටසේදීය.

තරගයේ 28 වැනි ඕවරය වන විට දකුණු අප්‍රිකානු පිලේ කඩුලු 5 ක් ලකුණු 134 කට බිඳ වැටී තිබිණ. එහෙත් ක්‍රිස් මොරිස් සමග එක්ව ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ෆෆ් ඩු’ප්ලෙසි ඇන්ඩිල් පෙලුක්වායෝ සමග එක්ව තවත් ලකණු 56 ක් එක්කරමින් දකුණු අප්‍රිකානු පිල ඉදිරියට ගෙන ගියේය. තරගයෙන් අනතුරුව දකුණු අප්‍රිකානු නායකයා කීවේ තමන්ට ලකුණු 50 ත් 70 ත් අතර ප්‍රමාණයක් මදිවූ බවයි.


දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 269
(ක්වින්ටින් ඩි’කොක් 34, හසිම් අම්ලා 16, ෆෆ් ඩු’ප්ලෙසි 120, ජේ.පී. ඩුමිනි 12, ක්‍රිස් මොරිස් 37, ඇන්ඩිල්
පෙලුක්වායෝ නොදැවී 27, යුෂ්වේන්ද්‍ර චාහල් 45/2, කුල්දිප් යාදව් 34/3)

ඉන්දියාව - ඕවර 45.3 කදී කඩුලු 4 ක් දැවී 270
(රෝහිත් ෂර්මා 20, ෂිකාර් ධවාන් 35, විරාට් කෝලි 112, අජින්ක්‍යා රහනේ 79, ඇන්ඩිල් පෙලුක්වායෝ 42/2)

 


අදහස් (0)

ඉන්දියානුවෝ පළමු පහර ගහති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.