Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි

උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි

Nisanka Sandeepani - 2019 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 4-1 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව සිටියි.

ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු පිතිකරුවෝ ඕවර 32.5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. ඬේවිඞ් මිලර් (නොදැවී 25) සහ ජේ.පී. ඩුමිනි (නොදැවී 31) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 46 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

තරගාවලිය පුරා පිතිකරුවකු ලෙස දක්ෂතා දැක්වූ ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක්, මෙම තරගයේදීද පන්දු 57 කින් ලකුණු 51 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලමක් දැමුවේය. ඩි’කොක්ගේ 20 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය.

ඒඞ්න් මාක්‍රම් (29) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩි’කොක් සමත් විය. කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දෙමින් මාක්‍රම් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. නායක ෆෆ් ඩුප්ලෙසි පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 43 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ධනංජය ද සිල්වා දකුණු අප්‍රිකානු ඉනිමේ බිඳවැටුණ කඩුලු 4 න් 3 කටම හිමිකම් කීමට සමත් විය. පළමු කඩුල්ල ලෙස රීසා හෙන්ඩි්‍රක්ස් ලකුණු 8 කට දවාගත් ධනංජය, ඉන් නොනැවතී ක්වින්ටින් ඩි’කොක් සහ ෆෆ් ඩුප්ලෙසීද සිය ගොදුරු බවට පත්කර ගත්තේය.  

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 39.2 ක් අවසානයේ ලකුණු 189 කට සීමා කිරීමට ඇන්රිච් නොට්ජේ ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී හුදෙකලා පිතිහරඹයක නිතර වූ ඉසුරු උදාන, සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිස වේගවත් ලකුණු 78 ක් රැස්කළේය. පන්දු 57 කදී වාර්තා වූ උදානගේ මංගල එක්දින අර්ධ ශතකයට දැවැන්ත හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත විය.

ලකුණු 97 කට කඩුලු 7 ක් බිඳ වැටී අඩ පණවී තිබූ ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් එක්කළ උදාන, ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවීයන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 92 ක් එක්ව තිබිණ. ඉනිමේ අවසන් පිතිකරුවා වූ කසුන් රාජිත (නොදැවී 0) සමග එක්ව 10 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද උදාන සමත් විය.

ඬේල් ස්ටේන්ගේ පන්දුවක් හමුවේ ගැසූ ඉතා දුර්වල පහරකින් ඉහළ ඇදී ගිය පන්දුව මිඞ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි තබ්‍රේස් ශම්සිගේ දෑත් අතර සිරවීමත් සමග ආරම්භකි පිතිකරු උපුල් තරංගගේ ඉනිම ලකුණු 4 කට සීමා විය. ඉන් පන්දු 8 කට පසු ඕෂධ ප්‍රනාන්දු ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගියේ ලුන්ගි න්ගිඩිගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි රීසා හෙන්ඩි්‍රක්ස් අතට උඩ පන්දුවක් දෙමිනි.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ඇන්රිච් නොට්ජේ, 10 වැනි ඕවරයේ පිට පිට පන්දු 2 කදී ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු (29) සහ ප්‍රියමාල් පෙරේරා (0) දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමුවේය. සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ප්‍රියමාල්, ලකුණු නොලබා දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කොක් අතට උඩ පන්දුවක් දෙමිනි.

ඉතාම හොඳින් ‘හුක්’ සහ ‘පුල්’ පහර ගසමින් සිටි අවිශ්කට දිගින් දිගටම කෙටි පන්දු යැවූ නෝර්ජේ තරමක් වේගවත් පන්දුවක් යවමින් ආරම්භක පිතිකරුවා දවාගත්තේය. පන්දුවේ වේගය වැඩිවීම හේතුවෙන් අවිශ්ක ගැසූ පහරින් පන්දුව මිඞ් විකට්හි සිටි ජේ.පී. ඩුමිනිට උඩ පන්දුවක් විය.

ඉන් නොනැවතුන නොට්ජේ, මුලු ලකුණු සංඛ්‍යාව 69 ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ 5 වැනි කඩුල්ල ලෙස කමිඳු මෙන්ඩිස්ද (9) ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය. කමිඳුගේ දැවී යෑමෙන් පන්දු 4 කට පසුව කුසල් මෙන්ඩිස්ද පිටියෙන් ඉවත්ව ගියේ ඇන්ඩිල් පෙලුක්වායෝගේ පන්දුවක් හමුවේ ෆයින් ලෙග්හි පන්දු රකිමින් සිටි ඇන්රිච් නොට්ජේ අතට උඩ පන්දුවක් දෙමිනි. දැවීයන විට පන්දු 42 කට මුහුණදී සිටි කුසල් හතරේ පහරක් සමගින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 21 කි.

තරගාවලිය පුරා පිතිකරුවකු ලෙස ආසාර්ථක වූ තිසර පෙරේරාට මෙම තරගයේදීද පන්දු 17 කදී රැස්කරගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි. තබ්‍රේස් ශම්සිගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් තිසර දැවී ගියේය. ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමට ගත් උත්සාහයකදී ජේ.පී. ඩුමිනිගේ පන්දුවක් හමුවේ ඇන්රිච් නොට්ජේ අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ධනංජය ද සිල්වා පන්දු 46 කදී ලකුණු 22 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆෆ් ඩුප්ලෙසි පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම තරගයේදී ප්‍රියමාල් පෙරේරාට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිවූ අතර ආරම්භක පිතිකරු උපුල් තරංග සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා යළිත් කණ්ඩායමට කැඳවා සිටියහ.

 

 

-036 


අදහස් (0)

උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.