Last Update  :  2025-04-22 18:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එකම සැලැස්ම පාරාවළල්ලක් වෙයි

එකම සැලැස්ම පාරාවළල්ලක් වෙයි

රොෂාන් ගුණරත්න - 2017 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කඩුල්ලට ඈතින් යෝකර් පන්දු යැවීමට සැලසුම් කර තිබුණද එම සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී පැවැති දුර්වලතා හේතුවෙන් එය අපිටම පාරාවලල්ලක් වූ බවත් පන්දු යවන්නන් හට පහර පිට පහර වදින විට ක්‍රියාත්මක කිරීමට වෙනත් සැලසුමක් නොතිබූ බවත් ඊයේ (13 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මහතා පැවසීය.


“අපි මීට වඩා හොදින් පන්දු යැවිය යුතුව තිබුණා. මේ තණතීරුවේ ලකුණු 390 ක් වැඩියි. ඉන්දීය පිතිකරුවන් ලකුණු 320 හෝ 330 සීමාවේ නවතා ගැනීමට තිබුනා. මම හිතනවා ලකුණු 60 ක් පමණ වැඩියි. අපි ෆුල්ටෝස් පන්දු සහ කෙටි පන්දු ගොඩක් යැව්ව නිසා අපේ සැලසුම් හරියට ක්‍රියාත්මක කිරීමට නොහැකි වුනා. නමුත් අපිට නැවත නැගිටින්න පුළුවන්” යැයි සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.


පළමු පන්දු යැවීමේ වාරයේදී සුරංග ලක්මාල් සහ ඇන්ජලෝ මැතිව්ස් යැවූ ඕවර 8 න් ඉන්දිය පිතිකරුවන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 29 ක් පමණි. ඉන්පසු පන්දු යැවීම බාරගත් තිසර පෙරේරා 9 වැනි ඕවරය ලකුණු 3 කට සීමා කළ අතර නුවන් ප්‍රදීප් 10 වැනි ඕවරය ලකුණකට සිමා කළේය.


ඕවර 10 ක් නිමාවේදී ඉන්දීය පිතිකරුවන්ගේ ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 33 කි.


ඉන්පසු ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකළ ඉන්දිය පිතිකරුවෝ නුවන් ප්‍රදිප්, තිසර පෙරේරා, සචිත් පතිරණ සහ සුරංග ලක්මාල්ට පහර පිට පහර දෙමින් ඕවර 50 අවසානයේදී ලකුණු 392 ක් දක්වා ඉහළට කණ්ඩායම රැගෙන ගියහ.


“රෝහිත්ගේ ඉනිම විශිෂ්ටයි. ඔහුගේ පළමු ද්විත්ව ශතකය අපි දැක්කේ රූපවාහිනියෙන්. මේක අපි සජීවීව දැක්කා.”


“ඔහු ද්විත්ව ශතකය ලබාගැනීමේදී දෙවැනි ශතකයට ගියේ පන්දු 36 කින්. අද ඔහු හයේ පහරවල් 12 ක් ගැසුවා. අපි 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටිනවිට ඉන්දියාව පීඩනය යටතේ ක්‍රීඩාකළ ආකාරය ඉතා විශිෂ්ටයි” යයිද සමරවීර පැවසීය.


“තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවට සිටින බොහෝ පිරිමැසුම්දායි පන්දු යවන්නෙකි. සුරංග ලක්මාල් සමගින් නව පන්දුවෙන් පන්දුයැවීම ආරම්භකළ මැතිව්ස් පළමු වාරයේ ඕවර 4 ක් යවමින් ලබාදුන්නේ ලකුණු 9 ක් පමණයි. නැවත පන්දු යැවීම සදහා මැතිව්ස්ට කැඳවීමක් නොලැබුනේ ඔහුව ආබාධයන්ට ගොදුරුවීමෙන් වලක්වා ගනිමින් ඔහුගේ සම්පූර්ණ ශක්තිය කණ්ඩායමට ලබාගැනීමට විය හැකිය.


“මැතිව්ස් නැවත සෙමින් සෙමින් යථා තත්ත්වයට පත්වෙමින් සිටින බැවින් ඕවර 10 ම ඔහු යැවිය යුතුයැයි අපි අනුමත කරන්නේ නෑ. ඔහු යථා තත්ත්වය පත්වූ පසු වාර දෙකකදී පන්දු යැවීමට පැමිණෙයි. ඔහුව අපට අවශ්‍ය වන්නේ පිතිකරුවකු හැටියට බැවින් ඔහුගේ කාර්ය ප්‍රමාණය පාලනය කරමින් යවන ඕවර ගණන ක්‍රම ක්‍රමයෙන් වැඩි කිරීමට උත්සහ ගන්නවා” යයිද සමරවීර මහතා පැහැදිලි කළේය.


මෙම තරගයේදී ශ්‍රී ලංකාවට තිබූ එකම සැනසිල්ල වූයේ විශිෂ්ට පිතිහරඹයක නිරතවෙමින් ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ දෙවැනි එක්දින ශතකය රැස්කර ගැනිමයි. ලකුණු 5000 සීමාව පසුකළ අතලොස්සක්වූ ශ්‍රී ලාංකීය ක්‍රිඩකයින්ගෙන් එක් අයකු වීමට මැතිව්ස්ට හැකිවිය.
දිල්ලියේදී පැවැති ටෙස්ට් තරගයේදි ඔහු ලබාගත් තීරණාත්මක ශතකය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත්වූ බවද සමරවීර මහතා නැවත නැවතත් පැවසීය.


“ඔහු ගුණාත්මක ක්‍රීඩකයෙක්. ඔහුගේ මනස හැදිලා තියෙන්නේ ලොකු දෙයක් කරන්නයි. මම ඔහුත් එක්ක ගොඩාක් කථා කළා. මම ඔහුට කියන්න උත්සහ කළේ ධනාත්මක මනසකින් ක්‍රීඩා කරන්න කියලයි. ඉදිරියේදී අපට ගොඩක් තරග තියෙන අතර එහිදි අපට ඔහුව තීරණාත්මක සාධකයක්”


ඉන්දීය නායක රෝහිත් ෂර්මා පැවසුවේ එය තමන් ක්‍රීඩා කරන විලාසය බවයි.


“තරගයට අවතීර්ණ වුනාට පස්සේ පන්දුව හොඳට පේන්න ගන්නවා. වඩාත් වැදගත්ම දේ තමා පන්දු යවන්නන් කොහොමද පන්දු යවන්නේ කියන එක. ඒක තේරුම් අරන් පන්දුවට පහර දෙන්න පුලුවන්නම් ලකුණු අතරට යාහැකියි” යයි තරගය අවසානයේ රෝහිත් ශර්මා පැවසීය.


මම පන්දුවට පහරදෙන්න පටන් ගන්නේ බොහොම හෙමින්. හේතුව තමයි මම කැමතියි තරගය විශ්ලේෂණය කරන්න. මම කැමතියි තරගයේ පවතින ස්භාවය, අවශ්‍යතා සහ තවත් දේවල් විශ්ලේෂණය කරන්න. ඒවාට අනුගතවූ විට අපිට බොහෝ දේ කළ හැකි බව ශර්මා පැවසීය.


“ඒ.බී.ඩිවිලියර්ස්, ක්‍රිස් ගේල් සහ මහේන්ද්‍ර සිං දෝනිට වගේ සමහර අය මට කැමති නෑ. ඒ අයට වගේ මට ලොකු ශක්තියක් නෑ. නමුත් මම මගේ නුවණ පාවිච්චි කරනවා” යැයි රෝහිත් ශර්මා වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

එකම සැලැස්ම පාරාවළල්ලක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.