Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එක්දින පිලේ නායකත්වය මාලිංගට

එක්දින පිලේ නායකත්වය මාලිංගට

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට පැවරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය සඳහා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පත් කිරීමටද තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

රට තුළ පවතින වත්මන් දේශපාලනික තත්වය මත ක්‍රීඩා අමාත්‍යවරයකු නොසිටින බැවින් මෙම පත්කිරීම් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අනුමැතිය දෙන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

අසන්ත ද මෙල් මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මෙම නව පත්කිරීම් කර තිබේ. බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමරත්න සහ චමින්ද මෙන්ඩිස් යන මහත්වරු තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 210 කට සහභාගි වී ඇති මාලිංග එහිදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 311 කි. කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 28.71 කි. විස්සයි20 ජාත්‍යන්තර තරග 69 කදී කඩුලු 92 ක් බිඳහෙළීමටද ඔහු සමත්ව සිටියි. විස්සයි-20 තරගයකදී ඔහු කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 19.67 කි. ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගයකදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව දරා ඇති මාලිංග විස්සයි20 තරග 9 කදීද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබේ.

වසර 2014 දී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලන දිනාගත් අවස්ථාවේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවන ලද්දේද ලසිත් මාලිංග විසිනි.

2017 වසරේ සැප්තැම්බර් මස 6 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි20 තරගයෙන් අනතුරුව නියමිත ශාරීරික යෝග්‍යතාව නොමැති වීම හේතුවෙන් වසරක පමණ කාලයක් කණ්ඩායමේ ස්ථානයක් අහිමිව සිටි මාලිංග, මේ වසරේ (2018) සැප්තැම්බර් මාසයේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී යළත් තරග බිමට පිවිසියේය.

නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමෙන් අනතුරුව එක්දින තරග 6 කට සහ විස්සයි20 තරගයකට ක්‍රීඩා කළ මාලිංග, එහිදී කඩුලු 12 ක් දවාගැනීමට සමත් විය. ඉන් කඩුලු 9 ක්ම (5 ක් සහ 4 ක් බැගින්) ඔහු දවාගනු ලැබුවේ එක්දින තරග 2 කදී වන අතර සෙසු එක්දින තරග 4 දීම ඔහුට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි. අවසන් වරට සහභාගි වූ විස්සයි20 තරගයේදී මාලිංග දවාගත් කඩුලු සංඛ්‍යාව 2 කි.

එක්දින තරග 12 කදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරා ඇති චන්දිමාල්, විස්සයි20 තරග 26 කදීද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබේ.

මේ දක්වා එක්දින තරග 144 කට සහභාගිවී ඇති චන්දිමාල් ශතක 4 ක් සහ අර්ධ ශතක 22 ක් සමග ලකුණු 3586 ක් රැස්කිරීමට සමත්ව සිටියි. ඔහුගේ එක්දින ඉනිමක සාමාන්‍යය 32.89 කි.

එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී නැවතත් කණ්ඩායමට කැඳවා සිටියි. මැතිව්ස්ට අමතරව තරග තහනමකට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක මෙන්ම අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න සහ ළහිරු කුමාර යන ක්‍රීඩකයන්ටද යළත් වරක් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ දොරටු විවර වී තිබේ.

මේ වන විට 33 වැනි වියේ පසුවන පා දඟ පන්දු යවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින තරගයකට සහභාගි වී ඇත්තේ 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී පාකිස්තානයට එරෙහිවය. 32 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට මේ වසරේ (2018) ජනවාරි මස බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව මේ දක්වා නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමක් නොලැබිණ.

පන්දුව දමාගසන බවට අන්තර් ජාතික ක්‍රිකට් සභාව හමුවේ වරද කරුවකු වීම නිසා පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට නවසීලන්ත තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ. ඔහුට අමතරව එංලගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ උපුල් තරංග, සධීර සමරවික්‍රම සහ අමිල අපොන්සු යන ක්‍රීඩකයන්ටද නවසීලන්ත තරගාවලියේදී කණ්ඩායමේ ස්ථාන අහිමිවී තිබේ.

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගි වන පළමු සහ දෙවැනි එක්දින තරග ජනවාරි මස 3 සහ 5 යන දිනවලදී මවුන්ට් මන්ගනුයිහිදී දිවා-රාත්‍රී තරග ලෙස පැවැත්වේ. දෙරට අතර තෙවැනි එක්දින තරගය 8 වැනිදා නෙල්සන්හිදීද, විස්සයි20 තරගය 11 වැනිදා ඕක්ලන්ඞ්හිදීද පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 සංචිතය
ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන්, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර

 


අදහස් (0)

එක්දින පිලේ නායකත්වය මාලිංගට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.