Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඕස්ට්‍රේලියාවට ලකුණු 4 ක ජයක්

ඕස්ට්‍රේලියාවට ලකුණු 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර බ්‍රිස්බේන්හිදී අද (21 වැනිදා) පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා ඕවර 17 කදි ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට ඕවර 17 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 169 ක් පමණි.

වේගවත් පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 76 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රාහී මාවත වෙත රැගෙන යාමට උත්සහ දැරීය.
විස්සයි20 තරග සඳහාම උපන් හපන්කම් ඇති රෝහිත් ශර්මා (7), ලෝකේෂ් රාහුල් (13) සහ විරාට් කෝලී (4) අඩු ලකුණු සංඛ්‍යාවක් තුල දවාගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වීමත් සමගින් ඉන්දීය කණ්ඩායමේ බලාපොරොත්තු පහත වැටුණි.

නමුත් පස්වැනි කඩුල්ල සඳහා එක්වූ රිෂාබ් පාන්ට් සහ දිනේෂ් කාර්තික් පන්දු 23 කදී ලකුණු 51 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය දෙසට ඉන්දීය කණ්ඩායම රැගෙන යාමට සමත්වූවද පාන්ට්ගේ දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවයට තිත තැබුණි. දිනේෂ් කාර්තික් පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 30 ක් රැස්කළ අතර රිෂාබ් පාන්ට් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 20 ක් රැස්කිරීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 13 ක් ලබාගැනීමට තිබූ නමුත් තෙවැනි සහ සිවුවැනි පන්දු වලදී ඩිනේෂ් කාර්තික් සහ කෘනාල් පාණ්ඩ්‍යා දැවීයාමත් සමගින් ජයග්‍රහණය ඔවුන්ගෙන් ගිලිහි ගියේය. ඇඩම් සම්පා සිය ඕවර 4 ලකුණු 22 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත් අතර මාකස් ස්ටොයිනිස් ලකුණු 27 කට කඩුලු 2 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමු පන්දුවට පහරදීම සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් ඕවර 16.1 කට කඩුලු 3 ක් දැවී ලකුණු 153 ක් රැස්කර සිටියදී වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය පැයක පමණ කාලයක් නතර කර තැබීමට සිදුවිය.

නැවතත් ආරම්භවූ තරගය ඕවර 17 කට සීමාවූ අතර අවසන් පන්දු 5 දී එක් කඩුල්ලක් අහිමිකරගත් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 5 ක් පමණි. ඕවර 17 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 158 ක් රැස්කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුවද ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 174 ක ඉලක්කයක් හිමිවිය.

ග්ලෙන් මැක්ස්වෙල් සහ මාකස් ස්ටොයිනිස් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 37 කදී ලකුණු 78 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 24 කදී හයේ පහර 4 ක් සමගින් ලකුණු 46 ක් සහ මාකස් ස්ටොයිනිස් පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 33 ක් රැස්කිරීමට සමත්වූහ. පන්දු 20 කට මුහුණදුන් ක්‍රිස් ලයන් හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 37 ක් රැස්කිරීමට සමත්විය.
කුල්දිප් යාදව් සිය ඕවර 4 ලකුණු 24 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත්තේය.


ඕස්ට්‍රේලියාව - ඕවර 17 කදී කඩුලු 4 ක් දැවී 158
(ඒරන් ෆින්ච් 27, ක්‍රිස් ලයන් 37, ග්ලෙන් මැක්ස්වෙල් 46, මාසක් ස්ටොයිනිස් නොදැවී 33, කුල්දීප් යාදව් 24/2)

ඉන්දියාව - ඕවර 17 කදී කඩුලු 7 ක් දැවී 169
(ශීකර් ධවාන් 76, රිෂාබ් පාන්ට් 20, ඩිනේෂ් කාර්තික් 30, ඇඩම් සම්පා 22/2, මාකස් ස්ටොයිනිස් 27/2)

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට ලකුණු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.