Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ක්‍රීඩාගාරයේ වීදුරු බිඳීමට සාක්ෂි නෑ

ක්‍රීඩාගාරයේ වීදුරු බිඳීමට සාක්ෂි නෑ

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති නිදහස් කුසලාන තරගයේදී ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුරදී බංග්ලාදේශ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු බිඳී ගොස් තිබේ. එම අවස්ථාවේදී සිදුවූයේ කුමක්ද යන්න සී.සී.ටී.වී දර්ශන නරඹා තමන්ට වාර්තාවක් දෙන ලෙස තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කළ එංගලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රීඩක ක්‍රිස් බ්‍රෝඞ් මහතා ක්‍රීඩාංගණ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේ වුවත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලය පවසා ඇත්තේ සී.සි.ටී.වී. දර්ශන අපහැදිළි බැවින් ඒ සම්බන්ධයෙන් නිශ්චිත යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි. සී.සී.ටී.වී දර්ශන වලින් ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ ඇතුළත දර්ශන ග්‍රහණය නොකෙරෙන බැවින් ඒ සම්බන්ධයෙන් නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ක්‍රීඩාංගණයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ දොර බිඳී යනු ඇසින් දුටු අය ඇතත් ඒ සම්බන්ධයෙන් ඔප්පු කරගත හැකි සාධක නැති බැවින් ඉදිරියට පැමිණ සාක්ෂි දීමට ඔවුන් පැකිළෙන අතරම එවන් සාක්ෂි පිළිගැනීමට ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වවන බලධාරීහුද අකමැත්තක් දක්වති.

තරගයේ අවසන් ඕවරයේදී ඇතිවූ මතභේදයක් හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ පිටිය මැදට විත් ඝෝෂා කරන්නට වූහ. මෙම අවස්ථාවේදී ක්‍රීඩාගාරයේ වීදුරු බිඳුණාද නැතහොත් තරගය ජයගැනීමෙන් පසුව පැවැති ජයග්‍රහණය සැමරීමේදී වීදුරු බිඳුණාද යන්න පරීක්‍ෂණ කෙරෙමින් පවතී.

මහමදුල්ලා ජයග්‍රාහී හයේ පහර ගැසූ සැණෙකින් බංග්ලාදේශ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයකු ඉතා වැරෙන් දොර තල්ලු කළ බවත් ඒ සමගම වීදුරු ජනේලය කැබලි වලට කැඩී බිඳී විසිරී ගිය බවත් තහවුරු කළ නොහැකි ආරංචි මාර්ග වලින් වාර්තාවෙයි.

මෙම තොරතුරු සම්බන්ධයෙන් තමන්ට විශ්වාස නමුත් ඒවා තහවුරු කරගැනීමට විද්‍යාත්මක සාධක නැති බවත් ක්‍රීඩාංගණ බලධාරීහු කියති.

බංග්ලාදේශ ජයග්‍රහණය සඳහා තරගයේ අවසන් ඕවර දෙකේදී ලකුණු 23 ක් ලබාගැනීමට තිබිණ. තිසර පෙරේරා විසින් යවන ලද 19 වැනි ඕවරයේදී ලකුණු 11 ක් ලබාගත් බංග්ලාදේශ පිතිකරුවෝ අවසන් ඕවරයේදී ලකුණු 12 ක් ලබාගැනීමට තබාගත්හ.

අවසන් ඕවරයේ පළමු පන්දුවට ලකුණක් ලබා නොගත් අතර දෙවැනි පන්දුවේදී මුසටෆිසුර් රෙහෙමාන් දුවද්දී දැවී ගියේය. එහෙත් රෙහෙමාන් දැවීයාමට පෙර මුහුණ දුන් පන්දුව උරහිසට ඉහළින් ගිය නිපන්දුවක් යයි කියමින් බංග්ලාදේශ ක්‍රීඩකයෝ පිටියට බැස අරගල කළහ. මෙම අවස්ථාවේදී දෙපිලේ ක්‍රීඩකයන් අතර උණුසුම් වචන හුවමාරු වන ආකරය දැකගත හැකිවිය.

මෙම අවස්ථාවේදී සකිබ් අල් හසන් ක්‍රීඩාගාරයෙන් පිටතට පැමිණ බංග්ලාදේශ පිතිකරුවන්ට තරගය නවතා ආපසු ක්‍රීඩාගාරයට එන්න’යි කීවද ඊට එකඟ නොවූ කාලිඞ් මහමුද් නැවත ගිහින් ක්‍රීඩා කරන්න යයි මහමදුල්ලාට සහ රුබෙල් හොසේන්ට කීහ. ආපසු පිටියට ගිය මහමදුල්ලා අනතුරුව මුහුණ දුන් පන්දු තුන හමුවේ ලකුණු 4ක්, 2ක් සහ 6 ක් ලෙස ලබාගනිමින් සිය කණ්ඩයම තරගාවලියේ අවසන් මහ තරගය දක්වා කැඳවාගෙන ගියේය.

තරගය අවසන් වීමෙන් පසුවද බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ ඇණුම්පද වලින් ඇවිස්සුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පවා උණුසුම් වදන් වලින් ප්‍රතිචාර දැක්වූහ. මෙම අවස්ථාවේදී කුසල් මෙන්ඩිස්ගේ කරට අත දමාගෙන ආ ටමීම් ඉක්බාල් තත්ත්වය සමනය කිරීමට උත්සාහ ගත්තේය.

ජයග්‍රහණයෙන් පසුව පිටිය මැදට වී ‘නාග කන්‍යා’ නර්තනයෙන් ජයග්‍රහණය සැමරූ බංග්ලාදේශ පිලේ නායක මහමදුල්ලා ක්‍රීඩාංගණයෙන් ඉවතට පැමිණියේ තමන්ගේම සගයකු වූ නුරුල් හසන්ට තදින් බැණවදිමිනි. නුරුල් හසන් එක් අවස්ථාවකදී ශ්‍රී ලංකා නායක තිසර පෙරේරාගේ මුහුණට ඇඟිල්ල දිගු කරමින් ඔහුට බැණවැදුණු ආකාරයෙන්ම සිය නායකයාගෙන් ‘ලුණ ඇඹුල් ඇතිව’ අසාගැනීමට නුරුල් හසන්ට සිදුවිය.

කෙසේ වෙතත් මෙම තරගයේ අවසන් ඕවරයේ සහ ඉන් පසු හැසිරීම සම්බන්ධයෙන් ක්‍රීඩයන් කිහිප දෙනකුටම විනය පරීක්‍ෂණ වලට මුහුණ දීමට සිදුවනු නිසැකය.

 

 

 

 


අදහස් (1)

ක්‍රීඩාගාරයේ වීදුරු බිඳීමට සාක්ෂි නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.