Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ක්‍රිකට් පරිපාලනයට නිසි බලධාරියෙක්

ක්‍රිකට් පරිපාලනයට නිසි බලධාරියෙක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අතුරු කමිටුවක්  පත් කිරීමට තමාට බලයක් නැති බැවින් ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු පවත්වා ගෙනයාම සඳහා තාවකාලික එහි නිසි බලධාරියා ලෙස ක්‍රීඩා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පත්කළ බව ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා එම අමාත්‍යාංශයේදි ඊයේ (31) රාත්‍රියේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන්  නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රි 12ට අවසන් වූ බැවින් පනතේ 41 වැනි වගන්තියට අනුව තමාට පැවරී ඇති බලතල අනුව එම පත් කිරීම  කළ බවත් එහිදි ක්‍රීඩා අමැතිවරයා පැවසීය.

 ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයේ නිලවරණය ඊයේ (31) පැවැත්වීමට නියමිතව තිබුණත් ඊට එරෙහිව පැවරූ නඩුවක් පෙරේදා (30) කැඳවූ අභියාචනාධිකරණය එය මෙම 14 වැනිදා දක්වා වාරණය කිරීමට නියෝග කළේය.

 ඒ අනුව ක්‍රීඩා ඇමතිවරයාට දේශීය ක්‍රිකට් පරිපාලනය ඉදිරියට පවත්වා ගෙනයාම සඳහා මෙලෙස නිසි බලධාරියකු පත් කිරීමට සිදුවිය. මාධ්‍යවේදින් මෙම මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමැතිවරයා කළ ප්‍රශ්න කිරීම් රැසකට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.

 “ ක්‍රිකට් ආයතනයේ වත්මන් නිලකාලය ඊයේ මධ්‍යම රාත්‍රී 12ට අවසන් වුණා. ක්‍රීඩා  පනතේ 41 වැනි වගන්තියට අනුව මට අතුරු කමිටුවක් පත් කරන්න නෛතික බලයක් නෑ. ඒ නිසා  නිතිපතිගේ උපදෙස් ලබා ගනිමින් ඊට බලලත් නිලධාරියෙක්  පත් කරන්න මා කටයුතු කළා.”
එහිදී මාධ්‍යවේදීයෙක් ඇමතිවරයාගෙන් විමසා සිටියේ ඉවත්ව ගිය ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනයේ නිල කාලය අවසන්වීමෙන් පසුව ඊට අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු කළේ නම් එම අවස්ථාව ක්‍රිකට් ආයතනය වෙනුවෙන් කළ නොහැක්කේ  ඇයි දැයි කියාය.

 ඊට පිළිතුරු දුන් ඇමතිවරයා, හිටපු ක්‍රීඩා ඇමැතිවරයාගේ කාලයේ කටයුතු කතා කිරීම සදාචාරාත්මක නොවන බවත් තමා කටයුතු කරන්නේ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා නෛතික රාමුවක් තුළ පමණක් බවත් පැවසීය.

 මේ අතර ක්‍රිකට්  ආයතනයේ වත්මන් පරිපාලනය අවසන් වී තිබෙන බැවින් ඒ වෙනුවට අතුරු කමිටුවක් පත් කරන  ලෙස එහි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ කර ඇතැයි කියන ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසුමකට ඇමැතිවරයා මෙසේ පැවසීය.

“ තිලංග සුමතිපාල මහතා එවැනි ඉල්ලීමක් අපෙන් කළා. නමුත් අපිට එහෙම කරන්න බෑ. කමල් පද්මසිරි මහතාගේ පත් කිරීම  ගැන අපි වැඩි දේවල් කතා කල  යුතු නෑ. මේ රටේ ජනතාවගේ වඩාත්ම අවධානය දිනාගත් ක්‍රීඩාවේ කළමනාකාරිත්වය තවදුරටත් නිසි ලෙස පවත්වා ගෙන යාමට දරන උත්සාහය හැරෙන්නට මේ පත් කිරීමේ වෙනත් කාරණයක් නැති බව මා වගකීමෙන් කියනවා.

 මාධ්‍ය හමුව  ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරි ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පැවසුවේ තමා අමාත්‍යාංශ දෙකක් හොබවන කෙතරම් කාර්යබහුල ලේකම්වරයකු වුවත් අද (1) සිට නිසි කළමනාකාරිත්වයක් යටතේ ක්‍රිකට් පරිපාලනය මෙහෙයවීමට උනන්දුවී සිටින බවයි.

මෙම මාධ්‍ය  හමුවේදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතාද අදහස් දැක්වීය. 

 


අදහස් (0)

ක්‍රිකට් පරිපාලනයට නිසි බලධාරියෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.