Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ක්‍රිකට් තහනම් කළහොත් වගකීම ඇමති බාරගත යුතුයි

ක්‍රිකට් තහනම් කළහොත් වගකීම ඇමති බාරගත යුතුයි

Nisanka Sandeepani - 2019 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල්දැමීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තහනමට ලක්වුවහොත් එහි වගකීම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බාරගත යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තරග කරන ‘මොහාන් ද සිල්වා’ පාර්ශවය පවසයි. 

‘මොහාන් ද සිල්වා’ පාර්ශවයේ සභාපති ධූරය අපේක්‍ෂක මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. 

එහිදී මොහාන් ද සිල්වා මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. 

“දැන් ක්‍රිකට් නිලවරණය කල්දාලා තියෙනවා. තරග කරන අපිවත්, නිලවරණ කමිටුවවත් දන්නේ නෑ. අයි.සී.සී. පෙබරවාරි 9 වැනිදා දක්වා පමණයි කාලය දීලා තියෙන්නේ. ඒකෙන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. එහි වගකීම ක්‍රීඩා ඇමතිතුමා බාරගත යුතුයි”

“ක්‍රීඩා ඇමතිවරයාට උපදෙස් දෙන පිරිසක් ඉන්නවා. ඒ අයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ක්‍රිකට් පරිපාලනයට එන්න බෑ. ක්‍රීඩා සමාජ පදනමක් නෑ. පස්සෙ දොරෙන් එන්න තමයි බලන්නේ”

“අපිට කවදා ඡන්දය තිබුණත් කමක් නෑ. අපි ඡන්දෙට ඉදිරිපත් වෙනවා. මමත් මේ රටට දෙයක් කරපු කෙනෙක්. දැනටමත් අපි දිනලා ඉවරයි. අපිට ඡන්ද 100 කට වඩා තියෙනවා”

“අපි තිලංග සුමතිපාලගේ ගෝලයො කියලා මෙහෙම කරන්නේ. එහෙම දේශපාලන ප්‍රශ්නයක් තියනවා නම් දේශපාලනයෙන් කරන්න” 

තමන්ගේ පාලන කාලය සම්බන්ධයෙන් එල්ල වන මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් මොහාන් මහතා මෙසේ අදහස් දැක්වීය.

“කාටවත් කියන්න බෑ අපි හොරු කියලා. එහෙම කියන්න කොහොමද?”

“අපේ පාලන කාලය තමයි ක්‍රිකට් පාලනයේ සාර්ථකම කාලය. අපිට හැකි වුණා ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය ඩොලර් මිලියන 52 කට අළෙවි කරන්න. ඒක තමයි මේ දක්වා ඉහළතම මිල”

“අපි 2016 වසරේ පාලනයට එන විට ක්‍රිකට් ආයතනය බිලියන හතරක් ණය වෙලයි තිබුණේ. අපි පළමු වසරේදීම ඒ ණය පියවලා ලාභ ලබන ආයතනයක් බවට පත්කරන්න පුළුවන් වුණා. 2017 වසර අවසන් වන විට බිලියනක ශුද්ධ ලාභයක් ලබන්න පුළුවන් වුණා”

“අයි.සී.සී. එක වසර දෙකක සිට පරීක්‍ෂණ කරනවා. අපිට නම් මේ දක්වා චෝදනා එල්ල වෙලා නෑ. ශ්‍රී ලංකාවේ තමයි මේ ඔක්කොම. වෙනත් රටවල්වලත් මේවා වෙනවා. කොහොමද වැඩියෙන් දූෂණ තියෙන රට ශ්‍රී ලංකාව කියන්නේ”

“මම පත්වූ වහාම අයි.සී.සී. යෙන් අහනවා එහෙම දෙයක් කිව්වද කියලා. අපේ රටේම අය කියන ඒවා ගැන මට ගොඩක් කණගාටුයි”

මෙහිදී අදහස් දක්වමින් හිටපු භාණ්ඩාගාරික ශම්මි සිල්වා මහතා මෙසේ පැවසීය.  

“හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාට කියන්නේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා වගේ ක්‍රිකට් ඇමතිවරයා වෙන්න එපා. ක්‍රීඩා ඇමතිවරයා වෙන්න. අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන තීරණයක් ගත්තොත් එහි වගකීම හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා ගතයුතුයි”

“අපේ රටේ ඇමතිවරු මාරුවෙන විදියට අයි.සී.සී. එක මාරුවෙන්නේ නෑ. අයි.සී.සී.ය මේ වන විටත් ඩොලර් මිලියන නවයක් දරවාගෙන තියෙනවා”

ජයන්ත ධර්මදාස මහතාගේ නාමයෝජනාව ස්ථිර වීම පිළිබඳව ශම්මි සිල්වා මහතා මෙසේ පැවසීය. 

“ජයන්ත ධර්මදාස මහත්මයා ක්‍රිකට් ගහලා නෑ ඒක මුළු ලංකාව දන්නවා. ඒ මහත්මයටත් නිලවරණයට ඉදිරිපත් වෙන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ මහත්මයා පනතේ කෑල්ලක් අල්ලාගෙන තමයි මේ අවස්ථාව ලබාගෙන තියෙන්නේ. අපි ඒ සඳහා අභියාචනයක් ඉදිරිපත් කරවනවා”

“අපිට එරෙහිව විරෝධතා ඉදිරිපත් කර තිබුණා 2001 සහ 2005 වසරවල අපිව විසුරුවා හැරලා අතුරු කමිටු පත්කළා කියලා. නමුත් අපි එයට වැරදිකරුවන් නොවන බවට තීරණය කර තිබුණා”

“එසේ නම් 2015 වසරේ නවීන් දිසානායක මහතා ජයන්ත ධර්මදාස මහතා සිටි කමිටුව විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කළා. එහෙනම් ඒ මහත්මයටත් බෑ නේ” යැයි හිටපු භාණ්ඩාගාරික ශම්මි සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ‘මොහාන් ද සිල්වා’ පාර්ශවයෙන් ලේකම් ධූරයට තරග කරන බන්දුල දිසානායක, උප සභාපති ධූරයට තරග කරන රවීන් වික්‍රමරත්න, උප භාණ්ඩාගාරික ධූරයට තරග කරන ලලිත් රඹුක්වැල්ලථ භණ්ඩාගාරික ධූරයට තරග කරන ලසන්ත වික්‍රමසිංහ සහ ක්‍රිෂාන්ත කපුවත්ත යන මහත්වරු ද සහභාගි වූහ.  

ඡායාරූප - ක්‍රිෂාන් ශෂික රණසිංහ


අදහස් (0)

ක්‍රිකට් තහනම් කළහොත් වගකීම ඇමති බාරගත යුතුයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.