Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (20 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ මුල් දිනයේදීම කේෂව් මහාරාජ් (116/8) කළ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 9 ක් ලකුණු 264 කට දැවී ගියේය.
කෙසේ වෙතත් ලකුණු 300 කරා යාම ඉලක්කය කරගත් රංගන හේරත් සහ අකිල ධනංජය දෙදෙනා අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 13 ක් එකතු කරමින් දිනයේ ක්‍රීඩාව අවසන් වන විට ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 277 දක්වා ඉහළ දැමූහ.
විදේශීය දඟ පන්දු යවන්නකු ශ්‍රී ලංකාවට එරෙහිව කරන ලද හොඳම පන්දු යැවීම සටහන් කළ වමතින් දඟ පන්දු යවන්නා, තරගයේ මුල් දිනයේදීම ලකුණු 116 කට කඩුලු 8 ක් දවාගත්තේ දකුණු අප්‍රිකානු නායකයා පෙර දිනයේ කී අනාවැකි සැබෑ කරමිනි.
“තණතීරුව හරිම වියළියි. මම හිතන්නේ මෙතන දඟ පන්දු යවන්නන් ලොකු වැඩ කොටසක් කරාවි.....එයින් (එස්.එස්.සී. තණතීරුවෙන්) අපේ වේග පන්දු යවන්නන්ට සහයෝගයක් ලැබෙනවා නම් හොඳයි. ඒත් අපි ඒ දේ බලාපොරොත්තු වෙන්නේ නෑ” යයි දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසී ඊයේ (19 වැනිදා) එස්.එස්.සී. පිටියේදී පැවසීය.
කේෂව් මහරාජ්ගේ මෙම පන්දු යැවීම වසර 36 ක ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් හමුවේ විදේශිකයකු කළ තුන්වැනි හොඳම පන්දු යැවීම වන අතර ශ්‍රී ලංකාවේදී විදේශිකයකු විසින් කරන ලද විශිෂ්ටතම පන්දු යැවීමද වෙයි.
ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 116 ක සම්බන්ධතාවකින් පසුව ධනංජය ද සිල්වා (60) සහ රොෂේන් සිල්වා එක්ව පස්වැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. මෙම සම්බන්ධතා දෙක ශ්‍රී ලංකා ඉනිමෙන් ඉවත් කළ කල්හි සෙසු පිතිකරුවන් හත් දෙනාම ලබාගෙන ඇත්තේ ලකුණු 107 කි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය ගැනීමට ගියේ කිසිවකු නොදැවී ලකුණු 93 ක් පුවරුවට එකතු කිරීමෙන් පසුවය. එහෙත් දිවා ආහාරයෙන් පසුව ඕවර දෙකක් ඇතුළතදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවූ මහාරාජ් ටිකෙන් ටික සිය ග්‍රහණය දැඩි කළේය.
දිවා ආහාරයත් තේ පානයත් අතර කඩුලු 3 ක් අහිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානයෙන් පසුව ලකුණු 109 කට කඩුලු 6 ක් අහිමිකරගනිද්දී දකුණු අප්‍රිකානුවෝ ක්‍රම ක්‍රමයෙන් තරගයේ වාසිය අතට ගනිමින් සිටියහ.
මෙම කාලය අතරතුරදී, පැය තුනකට වැඩි වේලාවක් පිටියේ රැඳෙමින් ලකුණු 60 ක් ලබාගත් ධනංජය ද සිල්වාගේ ඉනිම අලංකාර හතරේ පහර 8 කින් සමන්විත විය. ලකුණු 47 ක් ලබා සිටියදී කගීසෝ රබාඩාගේ අධිවේගී පන්දුවක් දකුණු උරහිසේ වැදීමෙන් ධනංජය මහත් අපහසුතාවකට පත්වූවද ඊට ප්‍රතිකාර ගත් දිරිමත් පිතිකරුවා සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය.
ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න දෙදෙනා පැය දෙක හමාරකට වැඩි කාලයක් සිය කඩුලු ආරක්‍ෂා කරගත් හෙයින් දිවා ආහාරයට පෙර පන්දු යවන්නන් පස් දෙනකු සේවයේ යෙදවීමට දකුණු අප්‍රිකානු නායකයාට සිදුවිය.
දිවා ආහාරයෙන් පසුව මහාරාජ් දිගටම පන්දු යැවීමට යොදාගත් දකුණු අප්‍රිකානු නායකයාගේ උත්සාහය සාර්ථක වූයේ කරුණාරත්නගේ ‘ග්ලාන්ස්’ පහරක් වැරදී යාමෙනි. දඟ පන්දු යවන්නා ඉවත්කර ගැනීමේ අරමුණ ඇතිව ‘ස්ලොග් ස්වීප්’ පහරක් ගැසීමට උත්සාහ කළ ධනුෂ්ක ගුණතිලකගේ උඩපන්දුව ෆයින් ලෙග් කලාපයේ සිට දිව ආ රබාඩා ගිලගත්තේය.
පිටියට පිවිසි මොහොතේ සිටම ලකුණු ලබාගැනීමට පුදුමාකාර හදිසියක් පෙන්නුම් කළ කුසල් මෙන්ඩිස් තමන්ගේ කඩුල්ල වීසිකර දැම්මේ වමත් දඟ පන්දු යවන්නාට අද දිනයේ තුන්වැනි කඩුල්ලත් පූජා කරමිනි. මෙන්ඩිස්ගේ හිතුවක්කාර පහර හේතුවෙන් ලකුණු 37 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳ වැටුණු අතර කඩුලු නොමැතිව දිවා ආහාරව වන විට හෙම්බත්ව සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම තේ පානය සඳහා ක්‍රීඩාගාරයට ගියේ උද්දාමයෙනි.
දිවා ආහාරයට පෙර ධනුෂ්ක ගුණතිලක කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමේ සියුම් අවස්ථාවක් කගීසෝ රබාඩාට ලැබිණ. එහෙත් පිත්ත යටින් පන්දුව යාමේදී පිත්තේ කෙළවරක පන්දුව යන්තමින් වැදුණු බව රූපවාහිනී පුනරූපන වලින් සනාථ වූ හෙයින් ලකුණු 16 දී සිය කඩුල්ල රැකගැනීමේ වාසනාව ගුණතිලකට ලැබිණ. ටෙස්ට් පිතිකරුවකු වශයෙන් තමන් කෙරේ තබා ඇති විශ්වාසය තහවුරු කළ ගුණතිලක, අනවශ්‍ය පහර කරා යාමෙන් වැළකී සිටියද දුර්වල පන්දුව දුටුතැන පහර දීමට නොපැකිළව ඉදිරිපත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදි දඟ පන්දු යවන්නන් කෙරේ විශ්වාසය තබා සිටින අතර ලක්ෂාන් සඳකැන් වෙනුවට අකිල ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා සිටී.
දකුණු අප්‍රිකානු පිල වෙනස්කම් දෙකක් කර ඇත්තේ කණ්ඩායම වඩාත් සමබර කරගැනීමේ අටියෙනි. මැදපෙළ පිතිකරුවකු වන තියුනිස් ඩි බෘයින් පිතිකරු ලයිස්තුවට එක්වන අතර කඩුලු රකින්නා වන ක්වින්ටින් ඩි කොක් අංක 7 ස්ථානය දක්වා පසුබැසීමට සුදානම් වී සිටින්නේ පිතිකරු අංශය වඩාත් සවිමත් කිරීමේ අරමුණ ඇතිවය.
දකුණු අප්‍රිකානු පිලේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතර අනුපාතය 7 : 4 කි.
හෙට තරගයේ දෙවැනි දිනයයි.
ශ්‍රී ලංකා - ද.අප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගයෙන් ...
ඡායාරූප - චතුර එස්. කොඩිකාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.