Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොදෙව්වෝ වාසිය උදුරාගනිති

කොදෙව්වෝ වාසිය උදුරාගනිති

Nisanka Sandeepani - 2018 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තවදුරටත් ඉගෙනගත යුතුය යන්න අපූරුවට කියා දුන් බටහිර ඉන්දීය කොදෙව්වෝ පෝර්ට් ඔෆ් ස්පේන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට තරගයේ පාලනය සහමුලින්ම සියතට ගෙන සිටියහ. මුල් ඉනිමේදී ලකුණු 147 කට කඩුලු 5 ක්  බිඳ වැටී තිබුණද ෂේන් ඩව්රිච්ගේ විශිෂ්ට පිතිහරඹය නිසා කොදෙව් කණ්ඩායම සිය මුල් ඉනිම ලකුණු 414 ක් දක්වා ඉදරියට ගෙන ගියා පමණක් නොව ඕවර 10 ක් ඇතුළතදී ශ්‍රී ලංකා මුල් ඉනිමේදී කඩුලු 3 ක් ද බිම දැමූහ. 

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (7 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලබා සිටියේ ලකුණු 31 ක් පමණි. පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා පිල තවත් ලකුණු 183 ක් ලබාගත යුතුවන නමුත් ශ්‍රී ලාංකිකයන් සතුව ඇත්තේ කඩුලු 7 ක් පමණි. 

කලකට පසුව අධිවේගී පන්දු යවන්නන් කිහිප දෙනකු සොයාගෙන සිටින කොදෙව් පිල හමුවේ එය තරමක් අසීරු අභියෝගයකි. 

ස්ලිප් ක්‍රීඩකයාට උඩපන්දුවක් දෙමින් මැතිව්ස් දැවී ගියේ නිපන්දුවකින්ද නැද්ද යන්න විවාදාත්මක වූවත් ලකුණු 30 දී තුන්වැනි කඩුල්ල ඇදවැටීම ශ්‍රී ලංකා කණ්ඩායමට දැරිය නොහැකි පාඩුවක් විය. එය වඩාත් බරපතළ වූයේ දැවීගිය ක්‍රීඩකයා කණ්ඩායමේ වඩාත්ම පළපුරුදු පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් වීමයි. 

අධිවේගී පන්දු යැවීමක නිරත වූ ෂැනන් ගේබ්‍රියෙල් පිතිකරුවන් මහත් අසීරුතාවට පත් කළේය. චන්දිමාල්ට සිය පළමු ලකුණ ලබාගැනීම සඳහා පන්දු 24 ක් බලා සිටීමට සිදුවූ අතර ඇන්ජලෝ මැතිව්ස්ටද බවුන්සර් පන්දු කිහිපයකින්ම සංග්‍රහ කිරීමට ගේබ්‍රියෙල් අමතක නොකළේය. කෙමාර් රෝච්ගේ පන්දුවක් වැළමිටට පහළින් වැදීම නිසා චන්දිමාල්ට එහි වෙළුම් පටි දමාගැනීමට පවා සිදුවිය. 

වසර එක හමාරකට පසුව සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කුසල් පෙරේරා පළමු ඕවරයේදී මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී ගියේය. කිසිදු වග විභාගයකින් තොරම තමන් වෙත පැමිණි පළමු පන්දුවටම කට් පහරක් ගැසීමට ගිය කුසල් පෙරේරා පොයින්ට් සිටි ක්‍රීඩකයාට උඩපන්දුවක් දුන්නේය. කුසල් මෙන්ඩිස් දැවී යන විට ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාවට (4) වඩා අතිරේක ලකුණු සංඛ්‍යාවක් (12 ක්) ලකුණු පුවරුවට එක්ව තිබිණ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් කොදෙව් ඉනිමේදී මුල් කඩුලු 5 ම ලකුණු 147 කට බිඳ වැටිණ. එම අවස්ථාවේදී එක්වූ නායක ජේසන් හෝල්ඩර් (40) සහ ෂේන් ඩව්රිච් (125) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 90 සම්බන්ධතාව නිසා කොදෙව්වෝ තරමක් හිස් ඔසවාගත්හ. අනතුරුව පසුපෙළ පිතිකරුවන්ගෙන් ලැබුණු සහයෝගයත් සමගින් ලකුණු 414 දක්වා සිය ඉනිම දිගුකළේ ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් උඩපන්දු කිහිපයක් ගිළිහී යද්දී විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයත් තිබුණු බැවිනි. 

කොදෙව් ඉනිමේ වඩාත්ම තීරණාත්මක සාධකය වූයේ ඩව්රිච් සහ දේවේන්ද්‍ර බිෂූ අතර පැවැති ශතක සම්බන්ධතාවයි. එයින් සිදුවූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසහනයට පත්වීම මිස අනෙකක් නොවේ. එය දේවේන්ද්‍රගේ දීර්ඝතම ටෙස්ට් ඉනිම විය. පන්දු 100 කට මුහුණ දුන් දේවේන්ද්‍ර හතරේ පහර 5 ක් ඊට ඇතුළත් කළේය. 

කණ්ඩායමේ කඩුලු රකින්නා වූ ඩව්රිච් සිය ලකුණු 125 වෙනුවෙන් පන්දු 325 කට මුහුණ දෙමින් ඒවායින් 12 ක් හතරේ සීමාව වෙත යැවීය. 300 වැනි ලකුණ පුවරුවට එක්වීමටත් මත්තෙන් ශ්‍රී ලංකා නායකයා තමන්ට යොදාගත හැකි සියලුම පන්දු යවන්නන් පරීක්‍ෂාකර බැලුව නමුත් ප්‍රයෝජනයක් නොවීය. 

තරගයේ දෙවැනි දිනය ආරම්භයේදීම ඇතිවූ වර්ෂාව හේතුවෙන් විනාඩි 50 ක පමණ කාලයක් අපතේ ගිය නමුත් එයින් විශාල අලාභයක් නොවීය. 

 


අදහස් (0)

කොදෙව්වෝ වාසිය උදුරාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.