Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සෝබර්ස් - තිසේරා කුසලාන’ තරගාවලිය ආරම්භ කරමින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේදී යන්තම් හිස් ඔසවා ගැනීමට කොදෙව්වෝ සමත් වූහ. ලකුණු 147 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී එක්වූ නායක ජේසන් හෝල්ඩර් සහ ෂේන් ඩව්රිච් දෙදෙනා හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සමබන්ධතාවක් ගොඩනඟමින් කඩාවැටෙමින් තිබූ කොදෙව් ඉනිමට මුක්කුවක් ගැසූහ.
ක්වීන්ස් පාක් ඕවල් පිටියේදී බදාදා (6 වැනිදා) ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසානයේදී ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව්වෝ කඩුලු 6 ක් දැවී ලකුණු 246 ක් ලබා සිටියහ.
දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි ෂේන් ඩව්රිච් ලකුණු 46 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර අනෙක් අන්තයේ රැදී සිටි දේවේන්ද්‍ර බිෂෝ ලකුණු ලබා සිටියේ නැත. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම පන්දු සංඛ්‍යාවකට (133) මුහුණදුන් ඩව්රිච්, සිය ඉනිම හතරේ පහර 5 කින් සරසා තිබිණ.
තේ පානය වන විට කොදෙව් පිල ලබා සිටියේ කඩුලු 5 කට ලකුණු 153 ක් පමණි. ඒ වන විට ලකුණු 6 ක් පමණක් ලබා සිටි කොදෙව් නායකයා සුරංග ලක්මාල් හමුවේ ෆ්ලික් පහරක් ගැසීමට යාමේදී පන්දුව පා ආවරණයේ වැදිණ. කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගිය ක්‍රීඩකයකු ලෙසින් හෝල්ඩර් නම් කෙරුණු නමුත් කොදෙව් නායකයා විනිසුරු තීරණය විමසීමට කියා සිටි හෙයින් ඔහුට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ අවස්ථාව ලැබුණේ පන්දුව පිත්තේ ගෑවුණු බව රූපවාහිනී පුනරූපන වලින් තහවුරු වූ හෙයිනි.
ආරම්භයේදී කිසිම පාලනයකින් තොරව පන්දු යැවූ නමුත් ළහිරු කුමාර විටින් විට ඉතාමත් හොඳ පන්දු පිතිකරුවන් වෙත යොමු කළේය. වරෙක ඔහුගේ පන්දුවක් හමුවේ පුල් පහරක් ගැසීමට උත්සාහ කළ ෂේන් ඩව්රිච්ගේ පහර වැරදී ගියෙන් පන්දුව පිත්තේ දාරයේ වැදී ඉහළ නැංගේය. පන්දු රකින්නන් තිදෙනකු ඒ වෙත දිවගිය නමුත් මිඞ් ඕන් ක්‍රීඩකයාට අඟල් කිහිපයක් ඉදිරියෙන් පන්දුව බිම පතිත විය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේද පන්දු රැකීමේ දුර්වලතා තිබිණ. ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ ඩව්රිච් දුන් උඩපන්දුවක් ස්ලිප්හි සිටි ඇන්ජලෝ මැතිව්ස් වෙතින් ගිළිහී යාම කොදෙව් පිලට දුන් සහනාධාරයක් මෙන් වූයේ ඒ සමගින්ම 200 වැනි ලකුණත් පුවරුවට එක්වූ බැවිනි. පසුව ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ජේසන් හෝල්ඩර්ගෙන් ලැබුණු උඩපන්දුවක් රොෂේන් සිල්වා අතින් ගිළිහී ගියේය.
හෝල්ඩර් ලකුණු 40 ක් ලබා සිටියදී දුන් උඩපන්දුව විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටි ශ්‍රී ලංකා නායකයා සිය ප්‍රතිමල්ලවයා පිටියෙන් ඉවත්කරගත්තේය.
තරගාවලියට කදිම ආරම්භයක් දුන් සුරංග ලක්මාල් කොදෙව් ඉනිම ආරම්භයේදීම දුන්නේ මරු පහරකි. නිසි ඉලක්කයකින් තොරව පන්දු යවමින් සිටි ළහිරු කුමාර වරින් වර පන්දුව ඉබාගාතේ පතිත කළ නමුත් දිවා ආහාරයට ඔන්න මෙන්න කියා තිබියදී යැවූ අගනා පන්දුවකින් කිරන් පවෙල් පිටියෙන් ඉවත් කළේ දුවද්දී දවාගැනීමකට දායක වෙමිනි.
කාසියේ වාසිය දිනාගත් කොදෙව් පිල පළමුවෙන්ම පන්දුවට පහරදීම තෝරාගත් නමුත් එහි වාසිය උකහා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කොදෙව්වන්ට අවසර නොදුන්නේ දිවා ආහාරයට පෙර කඩුලු 3 ක් බිම දමමිනි.
පළමු කඩුල්ලත් තුන්වැනි කඩුල්ලත් අතරේ වාර්තා වූ ලකුණු 76 න් වැඩි කොටසකට හිමිකම් කී කිරන් පවෙල් පන්දු 67 කින් ලකුණු 38 ක් ලබාගත්තේ කොදෙව්වන්ගේ ධෛර්යය වැඩි කරමිනි. ෂායි හෝප් තරමක් ආක්‍රමණශීලී වූවත් දිවා ආහාරය දක්වා කඩුල්ල රැකගැනීමට ප්‍රවේසම් විය. දිගින් දිගටම ඉලක්කයකින් තොරව පන්දු යවමින් සිටි ළහිරු කුමාරගේ පන්දුවක් හදිසියේම කඩුල්ල තුළට කඩාවැදුණේ පවෙල්ගේ පා ඉන්න ගලවා වීසි කරමිනි.
සුරංග ලක්මාල් පළමු ඕවරයේ සිටම නව පන්දුව මනා ලෙස පාලනය කරගනිමින් පන්දු යැවූ අතර ක්‍රෙග් බ්‍රැත්වෙයිට්ට එරෙහිව විවිධ ආනති නිර්මාණය කළේය. වරෙක ඊට අනුගත විය නොහැකි වූ බ්‍රැත්වෙයිට් කඩුලු රකින්නාට උඩපන්දුවක් දී දැවී යන විට ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 4 ක් පමණි. දකුණට පැන්න නිරෝෂන් දික්වැල්ල විසින් බ්රැත්වෙයිට්ගේ උඩපන්දුව රැකගන්නා ලද්දේ පළමු ස්ලිප් ක්‍රීඩකයා ඉදිරියෙනි.
මිඞ් විකට්හි පන්දු රකිමින් සිටි ළහිරු කුමාර පිතිකරුවන් දෙදෙනාගේ ප්‍රමාදයක් බලා සැණෙකින් ක්‍රියාත්මක වූ හෙයින් ඩෙවොන් ස්මිත් ලකුණු 40 දී දැවී ගියේය. එම කඩුල්ල ඒ අවස්ථාවේදී කොදෙව්වන් කිසි සේත්ම අපේක්ෂා කළ එකක් නොවීය. තමන්ගේ සීමාව වෙත පැන්නා නම් ඇතැම් විට ස්මිත්ට සිය කඩුල්ල ආරක්ෂා කරගැනීමට අවස්ථාව තිබුණත් ඔහු ඒ වෙත සෙමින් දිවගියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.