Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීයාව ඔවුන්ගේ තීරණය වෙනස් කරමින් සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (3 වැනිදා) ඕස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භවන සිවුවැනි සහ අවසන් ටෙස්ට් තරගය සඳහා නම්කරන ලද 13 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට රවිචන්ද්‍රන් අශ්වින් ඇතුළත් කර තිබෙන අතර ඉශාන්ත් ශර්මා සංචිතයෙන් ඉවත්කර ඇත.
අවසන් ටෙස්ට් තරග 2 දී ආබාධයක් හේතුවෙන් ක්‍රීඩානොකළ රවිචන්ද්‍රන් අශ්වින් හෙට ආරම්භවන තරගයේදී ක්‍රීඩා කරනු ඇතැයි තමන් දැඩි විශ්වාසයෙන් පසුවුවත් ඔහුගේ ශරීර යෝග්‍යතාව හොඳ මට්ටමක නොමැති බැවින් ඊට ඔහු ක්‍රීඩා නොකරන බව ඉන්දීය නායක විරාට් කෝලී අද (2 වැනිදා) උදෑසන මාධ්‍යවේදීන් අමතා පැවසීය.
නමුත් විරාට් කෝලී මාධ්‍යවේදීන් ඇමතීමෙන් පැයකට පමණ පසුව රවිචන්ද්‍රන් අශ්වින් සංචිතයට ඇතුළත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය.
උදෑසන කරන ලද පරීක්‍ෂණයෙන් අනතුරුව අශ්වින් අවසන් තරගයට සහභාගී කරවීමට තීරණය කළ බව එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්ව තිබුණි.
මේ අතර කිසිදු හේතුවක් නොදන්වා වේගපන්දු යවන ක්‍රීඩක ඉශාන්ත් ශර්මා අවසන් සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඔහු වෙනුවට උමේෂ් යාදව් සංචිතයට ඇතුළත් කර ඇත.
එමෙන්ම කුල්දීප් යාදව්ද සංචිතයට ඇතුළත්ව ඇති අතර අවසන් 11 දෙනා තේරීමේදී රවිචන්ද්‍රන් අශ්වින්ගේ ශාරීරික යෝග්‍යතාව හොඳ මට්ටමක නොතිබුණහොත් රවින්ද්‍ර ජදේජාට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.
මෙල්බන්හී පැවැති තරගයේ පළමු ඉනිමේදී ලකුණු 63 ක් ලබාගත් මැද පෙළ පිතිකරු රෝහිත් ශර්මාටද අවසන් ටෙස්ට් තරගය මඟහැරී ගොස් ඇත. සිය බිරිඳට දරුවකු ලැබීම හේතුවෙන් රෝහිත් ශර්මා මේවනවිට සිය රට බලා පිටත්ව යෑම ඊට හේතුවිය.
තෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කරන ලද ලෝකේෂ් රාහුල් නැවතත් අවසන් ටෙස්ට් තරගය සඳහා කැදවා ඇති අතර ඔහු මයන්ක් අගර්වාල් සමගින් ඉන්දීය ඉනිම ආරම්භ කරනු ඇත. තෙවැනි ටෙස්ට් තරගයේදී මයන්ක් අගර්වාල් සමගින් ඉන්දීය ඉනිම ආරම්භ කළ හනුමා විහාරී, රෝහිත් ශර්මාගේ අඩුව පිරවීම සඳහා අංක හය ස්ථානය දක්වා පහත දමා ඇත.
මේ වනවිට ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණේ පසුවන ඉන්දීය කණ්ඩායම ඕස්ටේ්‍රලියාවේදී පළමු වරට ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් අවසන් ටෙස්ට් තරගය සඳහා හෙට පිටියට පිවිසෙනු ඇත.
පළමු වරට ඉන්දියාව හමුවේ ඓතිහාසික ටෙස්ට් තරගාවලි පරාජයකට මුහුණ දෙමින් සිටින ඕස්ටේ්‍රලියාව හෙට ආරම්භවන අවසන් ටෙස්ට් තරගය ජය ගැනීම තුලින් තරගාවලිය 2-2 ක් ලෙස සමකර ගනිමින්ද එයින් ගැලවීමට ඔවුන්ගේ පූර්ණ ශක්තිය යොදනු ඇත.
ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් පසුගිය තරග වලදී ලකුණු අතර නොසිටීම හේතුවෙන් හෙට තරගයේදී ඔහුගේ ස්ථානය පහත වැටීම හෝ කණ්ඩායමෙන් ඉවත් කිරීම සිදුවිය හැකිය. එසේ සිවුවුවහොත් අංක තුන ස්ථානයේ පන්දුවට පහරදෙන උස්මාන් කවාජා උසස්වීමක් ලබමින් මාකස් හැරිස් සමගින් ඕස්ටේ්‍රලියා ඉනිම ආරම්භ කරනු ඇති බව නායක ටිම් පේන් පැවසීය.
හෙට උදෑසන තණතීරුව පරීක්‍ෂා කිරීමෙන් පසුව අවසන් තීරණය ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මානස් ලැබුස්චේන් සිඞ්නි තරගය සඳහා නම් කරන සංචිතයට ඇතුළත්ව ඇති අතර නේතන් ලයන් සමගින් ඔහු දඟපන්දු බලඇණිය ශක්තිමත් කිරීමට උත්සහ ගනු ඇත.
ඉන්දියානු කණ්ඩායම හෙට තරගයේදී දඟපන්දු යවන්නන් දෙදෙනෙකු පමණක් යොදාගතහොත් පීටර් හැන්ඞ්ස්කොම්බට ක්‍රීඩාකිරීමේ අවස්ථාව උදාවනු ඇත. එය එසේම සිදුවුවහොත් තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ගේ ස්ථානය අහිමිවීමේ අවදානමක්ද පවතින බව ඕස්ටේ්‍රලියානු නායකයා වැඩිදුරටත් පැවසීය.
සිය දැඩි අවධානය යොමුව ඇත්තේ පිතිකරණ අංශය කෙරෙහි බවත් අවම පිතිකරුවකු ශතකයක් ලබා නොගනිමින් ටෙස්ට් තරගයක් ජයගැනීමට අපහසු කාරණයක් බවත් ටිම් පේන් පැවසීය.
ඉන්දීය සංචිතය
විරාට් කෝලී (නායක), මයන්ක් අගර්වාල්, ලෝකේෂ් රාහුල්, හනුමා විහාරී, චෙතේෂ්වර් පුජාරා, අජින්ක්‍යා රහනේ, රිෂාබ් පාන්ට්, රවින්ද්‍ර ජදේජා, කුල්දීප් යාදව්, රවිචන්ද්‍ර අශ්වින්, මොහොමඞ් ශාමී, ජස්ප්‍රීට් බුම්රා, උමේෂ් යාදව්.
ඕස්ට්‍රේලියා සංචිතය
ටිම් පේන් (නායක), පැට් කමින්ස්, ඒරන් ෆින්ච්, පීටර් හැන්ඞ්ස්කොම්බ්, මාකස් හැරිස්, ජොෂ් හසල්වුඞ්, ට්‍රැවිස් හෙඞ්, උස්මාන් කවාජා, මානස් ලැබුස්චේන්, නේතන් ලයන්, මිචෙල් මාෂ්, ෂොන් මාෂ් ,පීටර් සිඞ්ල්, මිචෙල් ස්ටාර්ක්, ක්‍රිස් ටි්‍රමේන්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.