Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චන්දිමාල් විස්සයි20 සංචිතයට කැඳවයි

චන්දිමාල් විස්සයි20 සංචිතයට කැඳවයි

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මේ දක්වා විස්සයි20 තරග 52 කට සහභාගි වී ඇති චන්දිමාල් එහිදී ලකුණු 738 ක් රැස්කරගෙන ඇත්තේ අර්ධ ශතක 4 ක් සමගිනි. විස්සයි20 තරගයකදී 103.50 ක ප්‍රහාරක වේගයක් රඳවාගෙන සිටින චන්දිමාල්ගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය සටහන් වන්නේ 17.57 ක් ලෙසිනි.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා චන්දිමාල් තෝරාගෙන ඇත්තේ ඔහුට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් සභාව පැනවූ තරග 6 ක තහනම අවසන් වීමෙන් පසුවය. මේ වසරේ (2018) මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව කොළඹදී පැවැති විස්සයි20 තරගය චන්දිමාල් සහභාගි වූ අවසන් විස්සයි20 තරගයයි.

මේ අතර ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ලට මෙම තරගයේදී සිය ස්ථානය අහිමිවී ඇති අතර ඔහු අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දිමුත් කරුණාරත්න, ඉසුරු උදාන සහ  එක්දින තරගාවලියට සහභාගි වූ කසුන් රාජිතද අතිරේක ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.

වේග පන්දු යවන්නන් ලෙස එක්දින කණ්ඩායම ඇතුළත්ව සිටි සුරංග ලක්මාල්ට සහ කසුන් රාජිතටද විස්සයි20 සංචිතයේ ස්ථාන අහිමිවී ඇති අතර ඔවුන් දෙදෙනා වෙනුවට ෂෙහාන් මධුෂංක සහ බිනුර ප්‍රනාන්දු සංචිතයට කැඳවා සිටිති. ෂෙහාන් මධුෂංක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින තරගයකට සහ විස්සයි20 තරග 2 කට ක්‍රීඩා කර ඇති අතර බිනුර ප්‍රනාන්දු ක්‍රීඩා කර ඇත්තේ විස්සයි20 තරග 2 කට පමණි.

අවසන් වරට පැවැති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරීම නිසා වසරක අත්හිටවූ තරග තහනමකට ලක්වූ ජෙෆ්රි වැන්ඩසේද දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගය සඳහා කැඳවා සිටියි. අකිල ධනංජය සහ ලක්ෂාන් සඳකැන් සංචිතයට ඇතුළත්ව සිටින සෙසු දඟ පන්දු යවන්නෝ වෙති.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට නම් කළ ඇතැම් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමටද ඇතුළත්ව සිටින බවත්, ඔවුන් අතරින් විස්සයි20 තරගයට සහභාගි නොවන ක්‍රීඩකයන් දකුණු අප්‍රිකා නැඟී එන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 14 වැනිදා පස්වරු 7.00 ට ආරම්භ වේ.


ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දසුන් ශානක, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, ෂෙහාන් ජයසූරිය, ෂෙහාන් මධුෂංක, ළහිරු කුමාර, දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ලක්ෂාන් සඳකැන් සහ බිනුර ප්‍රනාන්දු

අතිරේක
දිමුත් කරුණාරත්න, ඉසුරු උදාන, නිරෝෂන් දික්වැල්ල සහ කසුන් රාජිත


- 036

 


අදහස් (0)

චන්දිමාල් විස්සයි20 සංචිතයට කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.