Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි

චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි20 අන්තර්ජාතික තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 99 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවර 16 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. 

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවීයද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් දිනේෂ් චන්දිමාල්, පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 36 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. ලුංගි න්ගිඩි යැවූ ශ්‍රී ලංකා ඉනිමේ 15 වැනි ඕවරයේ අවසන් පන්දුව, ස්ටේ්‍රට් ඩ්‍රයිව් පහරකින් හතරේ සීමාව වෙත යැවූ ඉසුරු උදාන, සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කුසල් පෙරේරා (3) සහ කුසල් මෙන්ඩිස් (1) පලමු ඕවරය තුළදීම පිටියෙන් ඉවත් කළ කගිසෝ රබාඩා ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම මහත් අසීරු තත්වයකට ඇද දැමුවේය. කෙසේ වුවත් දිනේෂ් චන්දිමාල් සමග එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම එම අසීරු තත්වයෙන් මුදවාගත් ධනංජය ද සිල්වා තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. 

ජූනියර් ඩලාගේ පන්දුවක් හමුවේ ධනංජය ගැසූ පුල් පහරකින් ඇදී ගිය පන්දුව උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට මිඞ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ඇන්ඩිල් පෙලුක්වායෝ සමත් වීමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය. දැවීයන විට පන්දු 26 කට මුහුණදී සිටි ධනංජය හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සරසා තිබිණ.

නායක ඇන්ජලෝ මැතිව්ස්ට ලකුණු නොලබා ආපයින්ම ආපසු ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවූයේ තබ්‍රේස් ශම්සිගේ පන්දුවක් හමුවේ බැක්වඞ් ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටි හෙන්රිච් ක්ලාසන් රැකගත් අනගි උඩ පන්දුවක් හේතුවෙනි. 

මැතිව්ස්ගේ නික්ම යෑමෙන් අනතුරු චන්දිමාල් සමග එක්වූ දසුන් ශානක, කඩා වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් ලබා දුන්නේ තබ්‍රේස් ශම්සි යැවූ 11 වැනි ඕවරයේ පිට පිට පන්දු 3 ක් හතරේ සීමාව වෙත යවමිනි. අඩ පණ වී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීම සඳහා ගැසූ පුල් පහරකින් ඉහළ ගිය පන්දුව උඩ පන්දුවක් ලෙස රැකගැනීමට ඩීප් ස්ක්වෙයාර් ලෙග් කළාපයේ හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටි රීසා හෙන්රික්ස් සමත් වීමත් සමග ශානකගේ ඉනිම ලකුණු 16 කට සීමා විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 16.4 ක් අවසානයේ ලකුණු 98 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. අකිල ධනංජයගේ පන්දුවකට ස්වීප් පහරක් ගැසීමට යෑමෙදී පිත්තේ දාරයේ වැදී ඉහළ ගිය පන්දුව ෂෝට් මිඞ් විකට් කළාපයට දිවගොස් උඩ පන්දුවක් ලෙස රැකගැනීමට කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් සමත් වීමත් සමග දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අවසන් බලාපෙරොත්තුව බවට පත්ව සිටි ඬේවිඞ් මිලර්ට (14) පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. 

මුල් ඕවර 10 අවසන් වන විට ලකුණු 69 කට කඩුලු 4 ක් ලෙස සටහන් වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු පුවරුව, 11 වැනි ඕවරය අවසානයේ ලකුණු 73 කට කඩුලු 7 ක් බවට පත්කිරීමට දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලක්ෂාන් සඳකැන් සමත් විය. එම ඕවරයේ පළමු පන්දුවේදී කුසල් මෙන්ඩිස්ගේ සහායද ඇතිව හෙන්රික් ක්ලාසන් ලකුණු 18 කට පිටියෙන් ඉවත් කළ සඳකැන්, ඉන් නොනැවතී සිවුවැනි සහ අවසන් පන්දුවලදී ඇන්ඩිල් පෙලුක්වායෝ සහ කගිසෝ රබාඩා ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූයේ ඔවුන් ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙරාතුවය. 

එක්දින තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක් වූ ජේ.පී. ඩුමිනිට මෙම තරගයේදී සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වීමට ඉඩක් නොලැබිණ. ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට දකුණු අප්‍රිකානු නායකයා ලබා සිටියේ ලකුණු 3 ක් පමණි. හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 19 ක් ලබා සිටි රීසා හෙන්රික්ස්ගේ කඩුල්ල බිඳ දැමීමට අකිල ධනංජය සමත් වූයේ මුලු ලකුණු සංඛ්‍යාව 42 ක් වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායමට තෙවැනි කඩුල්ලත් අහිමි කරමිනි. 

පන්දු 11 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 20 ක් රැස්කරමින් සාර්ථක ලෙස පන්දුවට පහරදෙමින් සිටි ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට දක්ෂ පන්දු රැකීමක නිරත වූ ලක්ෂාන් සඳකැන් සහ ධනංජය ද සිල්වා සමත් වූහ. කඩුල්ලෙන් ඉවතට ඇදී ගිය ධනංජය ද සිල්වාගේ පන්දුවක් යාර තිහේ සීමාවට ඉහළින් යැවීමට ගත් උත්සාහයකදී, වේගයෙන් ඇදී ආ පන්දුව එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රකිමින් සිටි දසුන් ශානකගේ දෑත් අතර සිරවීමත් සමග හෂීම් අම්ලා ලකුණු නොළබාම පිටියෙන් ඉවත් විය. 

3V2A3517

3V2A3508

3V2A3457

3V2A2865 3V2A3023 3V2A3134    

ඡායාරූප: ළහිරු හර්ෂණ

තරගයේ විශේෂ අවස්ථා 

 


අදහස් (0)

චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.