Last Update  :  2025-04-22 18:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චෙන්නායි - රාජස්ථාන් කණ්ඩායම් යළිත් කරළියට

චෙන්නායි - රාජස්ථාන් කණ්ඩායම් යළිත් කරළියට

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර දෙකක අයි.පී.එල්. තහනමකට ලක්ව සිටි චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් මේ වසරේදී (2018) යළිත් කරළියට පැමිණ තිබේ. ඒ එම කණ්ඩායම් දෙකට එරෙහිව පනවා තිබූ තහනම මේ වසරේදී නිමා වීම හේතුවෙනි.

2013 වසරේදී මුදලට තරග පවාදීම සහ ඔට්ටුකරුවන්ට අවැසි පරිදි ක්‍රීඩා කිරීම යන චෝදනා වලට වැරදිකරුවන් වීම නිසා එම කණ්ඩායම් දෙකට ඉන්දියාවේ ප්‍රධාන පෙලේ විනිසුරුවරයකු වන ආර්. එම්. ලෝධා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ලෝධා කමිටුව වසර දෙකක තහනමක් පැනවීය.

ඒ අනුව 2016 සහ 2017 වසර වලදී එම කණ්ඩායම් දෙක අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්ව සිටි අතර ඒ වෙනුවට ගුජරාට් ලයන්ස් සහ රයිසිං පූනේ සුපර් ජයන්ට්ස් ලෙස නව කණ්ඩායම් දෙකක් තරගාවලියට ඇතුළත් කිරීමට එහි සංවිධායකයෝ පියවර ගත්හ.

චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් වලට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් ඉකුක් වසර දෙකේදී ගුජරාට් ලයන්ස් සහ රයිසිං පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම් දෙකට බෙදී ක්‍රීඩා කළ අතර එහිදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ සුරේෂ් රයිනා, ගුජරාට් ලයන්ස් කණ්ඩායමේ නායකත්වය දැරීය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ මහේන්ද්‍ර සිං දෝනි 2016 වසරේදී රයිසිං පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ ස්ටීවන් ස්මිත් 2017 වසරේදී පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායකත්වය දැරීය.

කෙසේ වුවත් මේ වසරේදී චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් යළිත් අයි.පී.එල්. තරගාවලියට එක්වන අතර එම කණ්ඩායම් වෙනුවට ඉකුත් වසර දෙකේදී තරගාවලියට සහභාගි වූ ගුජරාට් ලයන්ස් සහ රයිසිං පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම් තරගාවලියෙන් ඉවත් වනු ඇත. ඒ අනුව මහේන්ද්‍ර සිං දෝනි සහ සුරේෂ් රයිනා යළිත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටත්, ස්ටීවන් ස්මිත් යළිත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කරනු ඇත.

ඔවුන් තිදෙනාද ඇතුළුව ක්‍රීඩකයන් 18 දෙනෙක් පමණක් මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකෙරෙන අතර එම ක්‍රීඩකයන් 18 දෙනා තවදුරටත් කණ්ඩායම් තුළ රඳවා ගැනීමට ඔවුන් ක්‍රීඩා කළ කණ්ඩායම්වල හිමිකරුවන් තීරණය කර තිබේ.

කෙසේ වුවත් මෙතෙක් පැවැති අයි.පී.එල්. තරගාවලි වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇති ලසිත් මාලිංග, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තුළ තවදුරටත් රඳවා නොගෙන වෙන්දේසියට ඉදිරිපත් කිරීමට මුම්බායි කණ්ඩායමේ හිමිකරුවන් පියවර ගෙන තිබීම කැපී පෙනෙන සිදුවීමක් ලෙස හැදින්විය හැකිය.

මාලිංගට අමතරව කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම දෙවරක් (2012 සහ 2014) අයි.පී.එල්. ශූරතාව කරා මෙහෙයවූ ගෞතම් ගම්බීර්ට සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කළ ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල්ටද එම ඉරණමම අත්වී තිබේ. ඔවුන් දෙදෙනාද තවදුරටත් කණ්ඩායම් තුළ රඳවා නොගෙන වෙන්දේසියට ඉදිරිපත් කිරීමට එම කණ්ඩායම් වල හිමිකරුවන් තීරණය කර තිබේ.


තවදුරටත් කණ්ඩායම් තුළ රඳවාගෙන සිටින ක්‍රීඩකයන්

චෙන්නායි සුපර් කිංග්ස් පිල - මහේන්ද්‍ර සිං දෝනි, සුරේෂ් රයිනා සහ රවින්ද්‍ර ජදේජා
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල - රිෂාබ් පාන්ට්, ක්‍රිස් මෝරිස් සහ ශ්‍රෙයාස් අයියර්
මුම්බායි ඉන්දියන්ස් පිල - රෝහිත් ශර්මා, හර්දික් පාණ්ඩ්‍යා සහ ජස්ප්‍රීත් බුම්රා
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඇන්ඩ්‍රි රසල් සහ සුනිල් නරේන්
කිංග්ස් XI පංජාබ් පිල - අසාර් පටේල්
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල - විරාට් කෝලි, ඒ.බී. ඩිවිලියස් සහ සෆ්රාස් ඛාන්
රාජස්ථාන් රෝයල්ස් පිල - ස්ටීවන් ස්මිත්
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඬේවිඞ් වෝනර් සහ බුවනේෂවර් කුමාර්

 

- 036

 


අදහස් (0)

චෙන්නායි - රාජස්ථාන් කණ්ඩායම් යළිත් කරළියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.