Last Update  :  2025-04-22 18:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ජයග්‍රහණයේ බලාපොරොත්තුව ඈතින් ඈතට

ජයග්‍රහණයේ බලාපොරොත්තුව ඈතින් ඈතට

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුටි කෑමේ කෙළවරක් නැත. ඉතිරිව ඇත්තේ එකම තරගයක් යයි කීම බලාපොරොත්තුවක් ඉතිරිව ඇතැයි කීමට වඩා සාධාරණය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුම්බායිහි වැන්කඬේ ක්‍රීඩාංගණයේදී හෙට (24 වැනිදා) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ජයග්‍රහණයක් පිළිබඳ සිතිවිල්ලක් ඇත්නම් ඊට එකම හේතුව මේ වන විටත් ඉන්දීය පිල තරගාවලිය ජයගෙන අවසන් වී ඇති බැවිනි.

ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි-20 තරගාවලි තුනේදීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිත්සේ තැලූ ඉන්දීය පිතිකරුවෝ වාර්තා පිට වාර්තා තැබූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්නේ තරමත් පිතිකරුවන්ගේ සීමාවත් හොඳින්ම දන්නා ඉන්දීයානුවෝ පිතිකරුවන්ට උචිත තණතීරු සකස් කරමින් තරගාවලි තුනේදීම ශ්‍රී ලංකා පිලට රිදවූහ.

ඉන්දියානුවන්ට වැරදුණේ එකම තැනකි. ඒ ධරම්ශාලාහිදී කාසියේ වාසිය අහිමි වීමෙනි. මේ වන විටත් පිට පිටම විස්සයි-20 තරග 7 ක් පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට තරගයේදී හෝ එම වාර්තාව එතැනින් නතර කරගැනීමට හැකියාවක් ලැබෙතොත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ සිතසුව පිණිස වනු ඇත.

දෙවැනි තරගයේදී රෝහිත් ෂර්මා සහ ලෝකේෂ් රාහුල් කළ පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා පිල අන්ත අසරණ සිටියේය. පන්දු 35 කදී ශතකය ලබාගත් රෝහිත් සහ පන්දු 49 කින් ලකුණු 89 ක් ලබාගත් ලෝකේෂ් රාහුල් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව 165 කි.

“රෝහිත් වගේම රාහුල් අති විශිෂ්ටයි. අපට ඔවන් පාලනය කරගන්න බැරිවුණා”

“ජය පරාජය කියන්නේ ක්‍රීඩාවේ තියෙන දෙයක්. අපිට වැරදුණ තැන් වලින් අපි ඉගෙන ගනිමින් ඉන්නවා. කණ්ඩායමක් හැටියට අප උත්සාහ කරන්නේ දියුණුවක් ලබන්නයි. මා හිතන්නේ අපේ පිතිහරඹය ගැන මීට වඩා හිතන්න ඕනෑ” යයි කුසල් පෙරේරා ඊයේ තරගයෙන් පසුව පැවසීය.

තරග වලින් පසුව ක්‍රීඩකයන් කියන කතාත්, පුහුණුකරුවන්ගේ ප්‍රකාශත් හුදු වචන හරඹ පමණක් බවට පත්ව තිබේ. එක දිගට විස්සයි-20 තරග 7 ක් පරාජය වීමෙන් පසුවත් මේ සම්පප්‍රලාපයන්ගේ අවසානයක් නැත. ලකුණු 260 ක් හඹා යාම අසීරු බව සැබෑවකි. එහෙත් මැද පෙළ කඩාවැටීම නවත්වා ගැනීමට ක්‍රමයක් ඇත්තේම නැති බවකි.

කටාක්හි පැවති පළමු තරගයේදී ලකුණු 89 කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයේ එක් අවස්ථාවක කඩුල්ලක් දැවී ලකුණු 145 ක් ලබා සිටියේය. එහෙත් එතැන් සිට පන්දු 24 ක් ඇතුළතදී ලකුණු 27 කට කඩුලු 9 ක් ඇද වැටිණ. එවන් තත්ත්වයක් ඇතිවන්නේ ඕවර 20 කදී ලකුණු 260 ක් ලබාගත් තණතීරුවක් මතදීය යන්න සිතන්නට ඇති කාරණාවයි.

වෙනත් ආකාරයකින් කිවහොත් ඕවර 20 කදී කඩුලු 10 ආරක්‍ෂා කරගැනීමට තරග දෙකකදීම ශ්‍රී ලංකා පිල අපොහොසත් වී තිබේ. ඉදින් ජයග්‍රහණයක් පිළිබඳ කවර කතාද ?

හෙට පැවැත්වෙන තුන්වැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස්ද ක්‍රීඩා නොකරන බව දැනගන්නට තිබේ. මේ තත්ත්වය ඉන්දියාවේ නවතම දඟ පන්දු යවන්නන් යුගළය වන යුස්වේන්ද්‍ර චාහල් සහ කුල්දීප් යාදව් දෙදෙනාට ඉනිමං බැඳීමකි.

ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් මාස පහකට පමණ පසුව නැවතත් කණ්ඩායමට එක්වූ කුසල් පෙරේරා ලකුණු අතරට පැමිණීම ශ්‍රී ලංකා පිලට යහපත් ආරංචියකි. කුසල් ඒ සම්බන්ධයෙන් දරන්නේ මෙවැනි අදහසකි.
“දීර්ඝ කාලයකට පස්සේ ලකුණු අතරට එන්න ලැබීම සතුටක් තමයි. ඒත් තනි පුද්ගල දක්‍ෂතා නෙමයි අවශ්‍ය වෙන්නේ. වැදගත් වෙන්නේ කණ්ඩායමේ ජයග්‍රහණයයි” යයි කුසල් පෙරේරා කීවේය.

තරගයක් තනිවම දිනවිය හැකි ක්‍රීඩකයන් ඕනෑ කර තිබේ. තනි පුද්ගල දක්‍ෂතා වටින්නේ එවිටය.

 

 


අදහස් (0)

ජයග්‍රහණයේ බලාපොරොත්තුව ඈතින් ඈතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.