Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ටෙස්ට් සංචිතයෙන් කුසල්ලා ඉවතට

ටෙස්ට් සංචිතයෙන් කුසල්ලා ඉවතට

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දියාව සමගින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතයෙන් කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා දෙදෙනාම ඉවත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කම්ටුව පියවර ගෙන තිබේ.

පාදයේ බත්කෙණ්ඩ මස්පිඬුවේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පාකිස්තාන තරගාවලියට එක් නොවූ ඇන්ජලෝ මැතිව්ස්ට නැවතත් ටෙස්ට් සංචිතය සදහා එක්වීමට අවස්ථාව හිමිවී ඇත. ආබාධයෙන් මිදී සම්පූර්ණ සුවය ලබා ඇති නමුත් කුසල් ජනිත් පෙරේරාට ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් ලැබී නැත. තරමක් වේගයෙන් ලකුණු රැස්කිරීමට ප්‍රියතාවක් දක්වන නමුත් කුෂල් ජනිත් පෙරේරාගේ ඉහළම පළමු පෙළ ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වන්නේ ලකුණු 336 කි.

කුසල් මෙන්ඩිස්ට අමතරව පාකිස්තානු තරගාවලියේදී ක්‍රීඩා කළ කෞෂාල් සිල්වා සහ නුවන් ප්‍රදීප් දෙදෙනාද ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබේ. බටහිර ඉන්දීය දූපත් සමූහයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සහ දසුන් ශානක ටෙස්ට් සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත. කණ්ඩායමේ අංක 3 ස්ථානය ධනංජය ද සිල්වාට හිමිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

වසරක පමණ කාලයකට පසුව ගිවිසුම් ගත සියලුම ක්‍රීඩකයින් ආබාධිත තත්වයෙන් තොරව ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් සමත්වී ඇති බව අද (5 වැනිදා) සවස පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

අසේල ගුණරත්න ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් සමත්වූවත් කාලයකින් තරගයකට ක්‍රීඩා කර නොමැති බැවින් තරගයක් ක්‍රීඩා කිරීමට හැකියාව තිබේ දැයි පරීක්‍ෂා කිරීම සදහා තේරීම් කමිටුවේ ඉල්ලීම පරිදි ඉදිරි දින 10 තුළදී ඔහුව තරග කීහිපයකට යොමු කිරීමට බලාපොරොත්තු වන බවද සුමතිපාල මහතා පැවසීය. එහිදි අසේල ගුණරත්න සාර්ථක වුවහොත් තේරීම් කමිටුවේ ඉල්ලීම පරිදි ඔහුව 16 වන ක්‍රීඩකයා ලෙස ඉන්දීය සංචාරයට එක්කර ගැනීමට බලාපොරොත්තුවන බවත් සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දියාවත් සමගින් පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් පාකිස්තාන තරගාවලියේ පැවැති ටෙස්ට් තරග දෙකක ඉනිම හතරකදීම අසාර්ථක විය. එසේ අසාර්ථක වීම හේතුවෙන් ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීම සාධාරණ දැයි මාධ්‍යවේදීහු විමසා සිටියහ. ඊට පිළිතුරු දුන් තේරීම් කමිටු සාමාජික ගාමිණි වික්‍රමසිංහ මහතා කියා සිටියේ තේරීම් කමිටුව කිසිම ක්‍රිඩකයකුට අසාධාරණයක් නොකරන බවයි.  

තේරීම් කමිටුව මෙන්ඩිස්ගේ පිතිහරඹ විලාසය පිළිබඳව අධ්‍යනය කර ඇති බවත් සහ ඔහු දැන් වැටී සිටින තත්වයෙන් තවත් පහතට වැටේ යැයි සාධාරණ බියක් පවතින බැවින් ඔහුට විශේෂ පුහුණු වැඩසටහනක් ක්‍රීයාත්මක කර ඔහුගේ මානසික තත්වය ඉහළට ගෙන නැවතත් ඊළඟ තරගාවලියේදී සංචිතයට කැඳවීමට බලාපොරොත්තුවන බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.


ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, රංගන හේරත්, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, ළහිරු ගමගේ, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා.      
 

 

 


අදහස් (1)

ටෙස්ට් සංචිතයෙන් කුසල්ලා ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.