Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඩව්රිච් - හෝල්ඩර් කොදෙව් පිල ගොඩගනිති

ඩව්රිච් - හෝල්ඩර් කොදෙව් පිල ගොඩගනිති

Nisanka Sandeepani - 2018 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මංගල දිවා/රාත්‍රී ටෙස්ට් තරගයේදීම ලකුණු 53 කට කඩුලු 5 ක් අහිමි කරගැනීම නිසා අමාරුවේ වැටුණු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ෂේන් ඩව්රිච් (නොදැවී 60) සහ නායක ජේසන් හෝල්ඩර් (නොදැවී 33) දෙදෙනාගේ බලවත් උත්සාහය හේතුවෙන් යන්තමින් හිස ඔසවාගත්තේය. 

නායක සුරංග ලක්මාල්, ළහිරු කුමාර සහ කසුන් රාජිත තිදෙනා එක්ව කොදෙව් පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් පස් දෙනාම ලකුණු 53 ක් ඇතුළතදී ආපසු ක්‍රීඩාගාරයට යැවූහ. එහෙත් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ ඩව්රිච් සහ හෝල්ඩර් දෙදෙනා ලකුණු සංඛ්‍යාව 132 දක්වා තල්ලු කරගෙන ගියහ. 

සෝබර්ස් - තිසේරා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ තුන්වැනි ටෙස්ට් තරගය වන මෙම තරගයේ පළමු දිනය වූ සෙනසුරාදා (23) කිහිප වතාවක්ම වර්ෂාවෙන් බාධා පැමිණි අතර දිනය පුරාම යැවිය හැකිවූයේ ඕවර 46.3 ක් පමණි. 

තරගය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අර්බුද රැසකට මුහුණ දී සිටියේය. පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ වරදට නායක දිනේෂ් චන්දිමාල්ට තරගයක තහනමක් පැනවිණ. දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කරමින් ක්‍රිකට් විනය නීති මාලාවට පටහැණි වන ආකාරයෙන් හෙවත් ක්‍රීඩාව අපකිර්තියට පත්කිරීමේ වරදක් තමන් කළ බව කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ අසංක ගුරුසිංහ යන මහත්වරු චෝදනා පිළිගත්හ.  

ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් චෝදනා ලබද්දී ක්‍රීඩකයෝත් විනය නීති කඩන්නට වූහ. නියමිත කාලය ඇතුළත නවාතැන් ගන්නා හෝටලයේ රැඳී නොසිටීම හේතුවෙන් ජෙෆ්රි වැන්ඩසේ ආපසු ශ්‍රී ලංකාවට පිටත්කර එවන ලදි. කණ්ඩායමේ ඉතිරිව සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන රංගන හේරත් තුවාල ලැබීම හේතුවෙන් ඔහුටත් තරගය අහිම වී ගියේය. නායකත්වය සුරංග ලක්මාල් පිට පැටවිණ. 

කාසියේ වාසියත් කොදෙව්වන්ටම හිමිවිය. එහෙත් මේ සියලු අර්බුද තිබියදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ තරගය වෙනුවෙන් කදිම ආරම්භයක් ලබාගත්හ. 

තරගයේ පළමු ඕවර හය නිමාවේදී කොදෙව් පිලේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 කට ලකුණු 8 ක් ලෙසිනි. ඒවන විටත් ඉදිරිපෙළ පිතිකරුවෝ තිදෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. ළහිරු කුමාරගේ පන්දුවකින් කිරන් පවෙල් දැවී යන විට තණකොළ සහිත තණතීරුවක් මතදී පළමුවෙන් පන්දුවට පහර දීමට තෝරාගැනීම සම්බන්ධයෙන් කොදෙව්වෝම විපිළිසරව සිටියහ. 

හානි වූ ඉනිම ගොඩනැංවීමේ බර රොස්ටන් චේස් සහ ෂායි හෝප් දෙදෙනා මත පැටවුණ නමුත් වර්ෂාව තරගයට බාධා කළේය. තේ පානයට පෙර පුවරුවට තවත් ලකුණු 16 ක් එක්වෙද්දී චේස් දැවී ගියේය. ෂායි හෝප්ගේ ඉනිම අඩුතරමේ පන්දු 50 ක් තරමවත් දිගු නොවීය.  

ඕවර 24 ක් තුළදී කණ්ඩායමෙන් අඩක් දැවී ගොස් සිටි බැවින් කොදෙව් නායකයා පිටියට පිවිසියේ එන අභියෝගයකට මුහුණ දීමේ අභිලාෂයෙනි. එතැන් සිට ඕවර 23 ක් පුරා සිය කඩුලු රැකගත් ඩව්රිච් සහ හෝල්ඩර් දිනය අවසන් වන විට ලකුණු 132 ක් දක්වා කණ්ඩායම ඉදිරියට ගෙන ගියහ. ඒ අතරවාරයේදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ ඩව්රිච් ටෙස්ට් තරග තුනක තරගාවලියක සෑම තරගයකදීම අර්ධ ශතකයක් ලබාගත් පළමු කොදෙව් කඩුලු රකින්නා වශයෙන්ද වාර්තා පොතට එක්විය. 

මෙම තරගය දිවා/රාත්‍රී තරගයක් වන බැවින් සැම දිනයකටම තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 12.30 ටය. 

 


අදහස් (0)

ඩව්රිච් - හෝල්ඩර් කොදෙව් පිල ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.