Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තරගාවලියේ සියලු ගෞරව අපි ගත්තා

තරගාවලියේ සියලු ගෞරව අපි ගත්තා

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලුම ගෞරව ඉන්දීය පිල හිමිකරගත් බවත් තමන් ඉදිරියේදී ද නායකත්වයේ කටයුතු කිරීමට සූදානම් බවත් ආසියානු ක්‍රිකට් ශූරයන් වූ ඉන්දීය පිලේ නායක රෝහිත් ශර්මා ජයග්‍රහණයෙන් පසුව පැවසීය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය සිකුරාදා (28) පැවැති අවසන් මහා තරගයේදී ඉන්දියාව අවසන් පන්දුවේදී කඩුලු 3 කින් බංග්ලාදේශය පරාජය කරමින් හත්වැනි වරටත් ශූරයන් බවට පත්විය.

එම ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය හමුවේදී ඉන්දීය පිලේ තාවකාලික නායක රෝහිත් ශර්මා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“අනිවාර්යෙන්ම අනාගතයෙත් නායක්වයේ කටයුතු කිරීමට මම සූදානම්. මේ තරගාවලිය ජය ලැබුවා. ඒ වගේම මොකක්ද එන අවස්ථාව මම නායකත්වය දැරීමට සූදානම්”

“මම හිතන්නේ අපි මෙම ප්‍රධාන තරගාවලියක් වන ආසියානු කුසලාන තරගාවලියේ සියලුම ගෞරව හිමිකර ගත්තා”

“කණ්ඩායම මෙයෙවන්නේ කොහොමද කියලා මට අවබෝදයක් තියෙනවා. ජයග්‍රහණය අඛණ්ඩව ගෙනයා යුතුයි. ගෞරවය අඛණ්ඩව පවත්වානෙ යෑම තමයි අභියෝගය’‘

මෙහිදී ඉන්දීය පිල ලකුණු 223 ක ඉලක්කය හඹා යෑමේදී අවසන් ඕවරයට ලකුණු 6 ක් රැස්කිරීමට සිදුවූ අතර කීදර් ජධාව් අවසන් පන්දුවට ලකුණක් ලබමින් ජය තහවුරු විය.

ඉන්දියාව අපරාජිතව ශූරයන් වීමේ ගමන පිළිබඳව ශර්මා මෙසේ අදහස් දැක්වීය.

“අපි මෙම තරගාවලියට සහභාගි වුණේ තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක්. ඒ වගේම මෙහි කාලගුණ තත්ත්වය ගොඩක් වෙනස්. ගොඩක් ක්‍රීඩකයන්ට මෙහි පරිසර තත්ත්වය පිළිබඳව අබබෝදයක් තිබුණේ නෑ. කීපදෙනෙක් කලින් මෙහෙට ආවා. තවත් පිරිසක් එංගලන්තයේ සිට ආවා. ඒ වුණාට මම හිතනවා අපි මෙම තරගාවලියේදී සමස්තයක් වශයෙන් හොඳ සූදනමකින් හිටියා කියලා”

එක්සත් අරාබි එමිර් රජ්‍යයේ මේ දිනවල සාමාන්‍ය කාලගුණ තත්ත්වයට වඩා උෂ්ණත්වයේ වැඩි වීමක් පවතින අතර ඇතැම් දිනවල එය සෙල්සියස් අංශක 45 ක් පමණ විය. ඒ හේතුවෙන් මෙම තරගාවලියේ සියලු තරග පැය එකහාමාරක් පසු පසට දමා පස්වරු 3.30 ට ආරම්භ කළේය.

“අපිට ප්‍රධානම අභියෝගය වුණා මෙම පරිසර තත්ත්වය යටතේ ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යෑමයි. අපේ දඟ පන්දු යවන්නන් පසුගිය තරග පහ හය තුළ හොඳින් පන්දු යැව්වා. පිතිහරඹයත් හොඳට තිබුණා. මැද පෙළ පොඩි ප්‍රශ්නයක් තිබුණා”

“මෙම තරගාවලියේදී අපිට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කීපදෙනෙක්ම අහිමිවුණා. ඇතැම් ක්‍රීඩකයන් විවේක ගැන්වුවා. ඒ නිසා අපිට පීඩනය පාලනය කරන්න සිදුවුණා”

“අපිටත් පීඩනය කළමණාකරණය කරන අභියෝගය ලැබුණා. අපි හොඳට පන්දු යැව්වා. හොඳට පන්දුවට පහර දුන්නා. උඩ පන්දු එකක් දෙකක් ගිලිහුණාට සමස්තයක් වශයෙන් හොඳට පන්දු රැක්කා”

“අපේ පිතිකරු ලැයිස්තුවේ අංක 4 සහ 6 යන ස්ථානය පිළිබඳව තීරණයක් ගන්න තව තරග ක්‍රීඩා කළ යුතුයි.

ඉදිරි තරගාවලිවලට ක්‍රීඩා කරලා එය තීරණය කළ යුතුයි. මම හිතන්න ලෝක කුසලානය දෙස බලා ඒ පිළිබඳව කටයුතු කිරීමට කාලය වැඩියි. ඒ සඳහා ලෝක කුසලනයට පෙර තිබෙන තරගාවලිවල අවස්ථාව ලබාදිය යුතුයි”
හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි කණ්ඩායමේ තව දුරටත් රැදී සිටීම පිළිබඳව රෝහිත් ශර්මා මෙසේ පැවසීය.

“දෝනිගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මම සෑම විටම උත්සහ කළේ පළමුව තීරණයට එන්න. ඔහු අපිට බොහෝ අවස්ථාවලදී උපදෙස් දෙනවා. ඔහුගේ නායකත්වය යටතේ මම තරග රැසකට ක්‍රීඩා කර තිබෙනවා. ඕවර 50 තරගාවලියකදී ඔහුගේ අත්දැකීම් වඩාත් වැඳගත් වෙනවා”

බංග්ලදේශ පිලේ නායක මෂ්රාෆ් මොර්ටාෂා අවසන් ඕවරය යැවීමට මහුමුදුල්ලාට පැවරීම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.  

“මහුමුදුල්ලාට අවසන් ඕවරය යැවීමට හැකියාව ඇති බවට මට විශ්වාසයක් තිබුණා. මොකද ඔහුට ඊට පෙර බී.පී.එල්. තරගාවලියේ දෙකේම තරග ජයග්‍රහණය කරලා අත්දැකීම් තිබුණා”

“පන්දු හයකට ලකුණු හයක් ලබා ගන්න තිබුණේ. වේග පන්දු යවන්නෙක් යොදා ගත්තේ නම් පහසුවෙන් ලබාගනී කියලා හිතුණා. ඒ නිසා පහරට ගොස් ලකුණු ලබාගන්න පොළඹවලා දවාගැනීම තමයි මගේ සැළසැම වුණේ”

ඉන්දියාවට ශූරතාව සඳහා ඩොලර් ලක්‍ෂයක මුදලක් ද, බංග්ලාදේශයට ඩොලර් 50,000 ක මුදලක් ද හිමිවිය.
ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් ධවාන් තරගාවලියේ වීරයා ලෙස ඩොලර් 35,000 ක ත්‍යාගයක් ලැබීය. බංග්ලාදේශ පිලේ ආරම්භක පිතිකරු ලිටන් දාස් අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය.  

 


අදහස් (0)

තරගාවලියේ සියලු ගෞරව අපි ගත්තා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.