Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තිසර හමුවේ අසීරු අභියෝගයක්

තිසර හමුවේ අසීරු අභියෝගයක්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ මෙන්ම විස්සයි-20 කණ්ඩායමේත් නායකත්වය බාරගැනීමෙන් පසුව උපුල් තරංග මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් සියලුම දෙනාගෙන් ආයාචනයක් කළේය.

“අම්මේ, තාත්තේ, අක්කේ, අයියේ, නංගී, මල්ලී, අපි කෙරෙහි විශ්වාසය තබන්න. අපිත් සමඟ රැඳී සිටින්න. යළිත් සිංහයන් සේ නැගී සිටින්නට අපට ශක්තියක් වෙන්න” යයි උපුල් තරංග ආයාචනා කළ බව අගෝස්තු 15 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වී තිබිණ. එසේ වුවත් ප්‍රතිඵලය වූයේ මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කළ දා පටන් පිට පිටම එක්දින තරග 10 කින් ශ්‍රී ලංකා පිල පරාජය වීමයි.

ලාහෝර් නුවරට යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උපුල් තරංගට විස්සයි-20 පිලේ නායකත්වයත් අහිමි විය. ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය ලද සැණින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත්ම නායකයා වන තිසර පෙරේරා කීවේ “මගේ හීනය හැබෑවුණා” කියාය.

කාගෙ කාගේ හීන හැබෑ වුණත් නූනත් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ගේ හීන හැබෑ වන්නේ කණ්ඩායම නැවතත් ජයග්‍රහණයේ මාවතට පිවිසීමෙන් පසුව බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට (26 වැනිදා) රාත්‍රී 9.30 ට ආරම්භ වන තරගයේදීත් ශ්‍රී ලාංකිකයන්ගේ එකම බලාපොරොත්තුව එයයි.

ඉන්දියානුවන් හමුවේ ලද ඛේදජනක පරාජයෙන් වැලකින් පසුව යන්තම් සැනසුම් සුසුමක් හෙළුවේ පාකිස්තානු පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදීය. එහෙත් එක්දින තරගාවලියේදී 5-0 ක ජයක් අත්කරගනිමින් ශ්‍රී ලාංකිකයන්ගේ සතුට අකාමකා දමන්නට පාකිස්තානු පන්දු යවන්නෝ මෙන්ම පිතිකරුවෝත් වගබලාගත්හ.

තමන්ගේ සිහිනය සැබෑ වූ බව කීවත් තිසර පෙරේරා හමුවේ ඇත්තේ සුළුපටු අභියෝගයක් නොවේ. අණක් ගුණක් නැති පාකිස්තානු පිතිකරු හමුදාවත් අනුකම්පාව පිළිබඳ අහළාවත් නැති පාකිස්තානු පන්දු යැවීමේ බළඇණියත් හමුවේ තිසරට මෙහෙයවීමට සිදුව ඇත්තේ දෙවැනි පෙළ නැතහොත් ඊටත් පහළ මට්ටමේ ශ්‍රී ලංකා කණ්ඩායමකි.

අන්තර්ජාතික තරග අත්දැකීම් වලින් පොහොසත්, තමන් තරග දිනවන්නන් බව මීට කලින් ඔප්පු කර ඇති ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, ලසිත් මාලිංග, උපුල් තරංග, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල සහ මිලින්ද සිරිවර්ධන වැනි ක්‍රීඩකයන් තිසරගේ කණ්ඩායමේ නැත. එහෙත් සර්ෆ්‍රාස් අහමඞ්, ෆකාර් සමාන්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, මොහොමඞ් හෆීස් සහ ඉමාඞ් වසිම් වැනි ප්‍රහාරාත්මක පිතිකරුවෝත්, කොහේදෝ සිට පැමිණ පිතිකරුවන් අන්දමන්ද කරවන ශදාබ් ඛාන්, හසන් අලි, රුමාම් රයීස් සහ උස්මන් ඛාන් යන පන්දු යවන්නෝත් එක්දින තරගාවලියේදී ශ්‍රී ලාංකිකයන්ට කළ හරිය සැවොම දනිති.

බටහිර ඉන්දීය දූපත් සමූහයේ සිට හදිසියේම කැඳවන ලද දසුන් ශානක සහ සධීර සමරවික්‍රම දෙදෙනා කෙරෙහි පිතිකරුවන් වශයෙන් බලාපොරොත්තු තැබිය හැකිය. එසේ වූවත් පන්දු යවන්නන් වශයෙන් බලාපොරාත්තු තබාගත හැක්කේ කා වෙතද යන්නත් ප්‍රශ්නයකි. කෙසේ වෙතත් කණ්ඩායමේ පළපුරුදුම ක්‍රීඩකයා වශයෙන් තිසර පෙරේරාට වැඩි බරක් ඇදීමට සිදුවන බව නම් කිව හැකිය.

පාකිස්තානු පිලට ඇති විශාලතම වාසිය නම් සංචිතය තුන් ඉරියව් ක්‍රීඩකයන්ගෙන් පිරී ඉතිරී යාමයි. මොහොමඞ් හෆීස්, ෂොයිබ් මලික්, ඉමාඞ් වසිම් තිදෙනාම නම්දැරූ තුන් ඉරියව් ක්‍රීඩකයෝ වෙති. පන්දු යවන්නන් වශයෙන් කණ්ඩායමට එක්ව සිටින නමුත් අවශ්‍ය විටෙකදී ලකුණු ලබාගැනීමට ශදාබ් ඛාන්ට මෙන්ම හසන් අලීටත් පුළුවන.

කරුණු සියල්ල මෙසේ තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක කාරණාවක් සම්බන්ධයෙන් නම් බලාපොරොත්තු තැබිය හැකිය. මේ වන විටත් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානයට වැටී ඇති හෙයින් තවත් නැති වන්නට දෙයක් නැති බැවින් ‘වෙන දෙයක් වුණාවේ’ කියා තමන්ගේ ක්‍රීඩාව කරගෙන යාමයි.

අබුඩාබිහිදී හෙට ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය අවසන් වන්නේ ලාහෝරයෙනි. පළමු තරග දෙකම අබුඩාබිහි ෂෙයික් සයීඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් තරගය මේ මස 29 වැනිදා ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.


ශ්‍රී ලංකා සංචිතය :
තිසර පෙරේරා (නායක), ඩිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන්, මහේල උඩවත්ත, දසුන් ෂානක, සචිත් පතිරණ, විකුම් සංජය, ළහිරු ගමගේ, සීක්කුගේ ප්‍රසන්න, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩසේ, චතුරංග ද සිල්වා සහ මිනෝද් භානුක


පාකිස්තානු සංචිතය :
සර්ෆ්‍රාස් අහමඞ් (නායක), ෆකාර් සමාන්, අහමඞ් ශෙෂාඞ්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, මොහොමඞ් හෆීස්, ඉමාඞ් වසිම්, ශදාබ් ඛාන්, මොහොමඞ් නවාස්, ෆහීම් අශ්රෆ්, හසන් අලි, අමීර් යාමීන්, මොහොමඞ් අමීර්, රුමාම් රයීස්, උස්මන් ෂින්වාරි සහ උමාර් අමීන්

 


අදහස් (0)

තිසර හමුවේ අසීරු අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.