Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකානු පිතිකරුවන් සහ තමන් අතරේ පවතින පියවිය නොහැකි පරතරය මේ යයි මැනවින් ඔප්පු කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ කොළඹ එස්. එස්. සී පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (22 වැනිදා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 275 ක් ලබා ගත්හ. මුල් ඉනිමේදී අත්කරගත් ලකුණු 214 ක දැවැන්ත වාසියක් තිබුණ හෙයින් තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 490 ක් රැස්කරක ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට අභියෝග කළේය.
අසීරු අභියෝගයක් වුවද ඒ කරා යමින් සිටි දකුණු අප්‍රිකානුවෝ අද සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 139 ක් ලබා සිටියේය. තරගයෙන් ජයගැනීමට නම් දකුණු අප්‍රිකානු පිලට තවත් ලකුණු 351 ක් අවශ්‍ය වන නමුත් ශ්‍රී ලංකා පිලට අවශ්‍ය වන්නේ කඩුලු 5 ක් පමණි.
දකුණු අප්‍රිකානු පිලේ දෙවැනි ඉනිම අද පස්වරු 2.00 ට ආරම්භ වූයේ පිතිකරුවන් අන්ද මන්ද කරමිනි.
පන්දු යැවීම ආරම්භ කළ රංගන හේරත්ගේ දෙවැනි ඕවරයේදී ඩීන් එල්ගා ගැසූ පහරකින් ඉහළ ගිය උඩපන්දුව ඩිල්රුවන් අතින් ගිළිහී ගියේය. ඊළඟ ඕවරයේදී ඩිල්රුවන් යැවූ පන්දුවකින් එල්ගාගේ මැද ඉන්න ඇදවී ගියද එය නිපන්දුවක් වූයෙන් දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවාට තවදුරටත් පිටියේ රැඳී සිටීමේ අවස්ථාව ලැබිණ.
මුලු ලකුණු සංඛ්‍යාව 12 ක් ව තිබියදී හේරත්ගේ වමතින් මිදී ඇදී ගිය පන්දුවක් ඒඞ්න් මාක්රම්ගේ පිත්තේ පිටත දාරයේ වැදී ඇන්ජලෝ මැතිව්ස් සොයා ගියද හිටපු නායකයාගේ දෑත් අතරින් පන්දුව ලුහුටා ගියේය.
සියල්ල එක්ව ගත් කල්හි, ඕවර හයක් නිමාවීමටත් පෙර කඩුලු 3 ක් දවාගැනීමේ අවස්ථා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිළිහී ගොස් තිබිණ. වාසනාව තමන් අත බව වටහාගත් දකුණු අප්‍රිකානුවෝ තරමක් එඩිතරව ලකුණු හඹා යමින් පන්දුවට පහර දෙන්නට වූහ. තේ පානයෙන් පසුව, මුලු ලකුණු සංඛ්‍යාව 55 ක් ව තිබියදී ඩිල්රුවන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ලට උඩපන්දුවක් ලැබුණ හෙයින් ඩීන් එල්ගා නැවත වරක් දැවී ගියේය. ඒ වන විට ලකුණු 23 ක් ලබා සිටි වමත් ආරම්භක පිතිකරුවා ආපසු ක්‍රීඩාගාරයට ගියේ මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී ඉනිම 4 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 35 ක් ව තිබියදීය.
අංක 4 පිතිකරු හසිම් අම්ලා පිටියට පිවිස සිටියද එල්ගා දෙවැනි වරට දවාගත් ඩිල්රුවන්ගේ පන්දුව නිපන්දුවක් වූයෙන් අම්ලා ආපසු යවා ඩීන් එල්ගා නැවතත් පිටියට කැඳවන ලදි. එහෙත් එතැන් සිට ඔහුට එකතු කළ හැකිවූයේ තවත් ලකුණු 14 ක් පමණි. ඩිල්රුවන් විසින්ම එල්ගාගේ ඉනිම අවසන් කරන ලදි.
දෙවැනි ඉනිමේදී දකුණු අප්‍රිකානු ඉනිම දෙදරා ගියේ රංගන හේරත්ගේ අති විශිෂ්ට පන්දුවකිනි.
තියුනිස් ඩි බෘයින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ඔද තෙද බිඳීමේ උත්සාහයක නිරතව සිටියදී හසිම් අම්ලා සිය කඩුල්ල රැකගැනීමට උත්සුක වූයේ තරගාවලිය පුරාම අසාර්ථක වූ බැවිනි. එහෙත් දකුණු අප්‍රිකානුවාට එතැම් වාසනාවක් නොතිබිණ. හේරත්ගේ පන්දුව මැද ඉන්න එල්ලයේ පතිත වී පිත්ත පරයමින් ගොස් පිට ඉන්න උදුරා දැම්මේ මෙම තරගාවලියේ ඉනිම 4 කදී හසිම් අම්ලාගේ ලකුණු සංඛ්‍යාව 40 කට සීමා කරමිනි.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවන් අතර තුන්වැනි ස්ථානය හිමි හසිම් අම්ලා ඊයේ ලකුණු 9000 කඩයිම පසුකර ගියේය. අම්ලාට ඉදිරියෙන් සිටින දකුණු අප්‍රිකානු පිතිකරුවන් වන්නේ හිටපු නායක ග්‍රේඒම් ස්මිත් (9265) සහ ජැක් කලිස් (13,289) පමණි.
අකිල ධනංජයගේ පිට පිට පන්දු දෙකකින් නායක ෆෆ් ඩු ප්ලෙසි මෙන්ම මුරකරු පිතිකරු කේෂව් මහාරාජ් දැවීයාම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී අපේක්‍ෂිත ඉලක්කයට ලඟාවූහ.
අද පෙරවරුවේදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා සිවුවැනි කඩුල්ල වෙනුවෙන් 63 ක් එක්කළහ. ලකුණු 356 ක් ලබාගනිමින් මෙවර තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වී සිටින දිමුත් කරුණාරත්න ලකුණු 85 දී ලුංගි න්ගිඩිගේ පන්දුවකින් දැවී යන විට විනාඩි 197 ක් පුරා පන්දුවට පන්දු 136 කට මුහුණ දී තිබිණ.
මාස හතකට පමණ පසුව යළිත් ලකුණු අතරට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පැය තුනකට වැඩි කාලයක් කඩුල්ලේ රැඳෙමින් ලකුණු 71 ක් ලබාගත්තේය. පන්දු 147 කට මුහුණ දුන් හිටපු නායකයා හතරේ පහර 7 කින් සිය ඉනිම සැරසීය.
මෙම තරගාවලිය දිමුත් කරුණාරත්න සහ දකුණු අප්‍රිකාව අතර තරගාවලියක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා පළමු ඉනිමේදී දිමුත් කරුණාරත්න විනාඩි 148 ක් පිටියේ රැඳුන නමුත් දකුණු අප්‍රිකානු මුල් ඉනිම එහෙම පිටින්ම විනාඩි 139 කට සීමා විය. දෙවැනි ඉනිමේදීත් කරුණාරත්න විනාඩි 197 ක් පිටියේ රැඳිණ.
ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දුන්නේ සුපුරුදු විවේකයෙනි.
දිමුත් කරුණාරත්නගේ පන්දුවට පහර දීමත් දකුණු අප්‍රිකානුවන්ගේ දඟ පන්දු භීතිකාවත් ඇදහිය නොහැකි තරම් පරස්පර විරෝධී විය. ඇන්ජලෝ මැතිව්ස් නැවතත් සිය සුපුරුදු පිතිහරඹ රටාවට අවතීර්ණව සිටි අතර රොෂේන් සිල්වා අවදානම් පහර කිහිපයක්ම ගැසූ නමුත් කඩුල්ල රැකගැනීමට තරම් වාසනාවන්ත වී සිටියේය.
මුල් ඉනිමේදී ලකුණු 129 කට කඩුලු 9 ක් දවාගත් කේෂව් මහාරාජ් දෙවැනි ඉනිමේදී ඕවර 31 ක් යැවූ නමුත් දවාගත හැකිවූයේ කඩුලු 2 ක් පමණි. පැය හතර හමාරකට ආසන්න ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පුරා දකුණු අප්‍රිකානු පිලේ ඉදිරිපෙළ පන්දු යවන්නන් වන ඬේල් ස්ටේන්, කගීසෝ රබාඩා සහ ලුන්ගිසානි න්ගිඩි තිදෙනාම එක්ව ඕවර 25 ක් යැවූ නමුත් දවාගත හැකිවූයේ එකම කඩුල්ලක් පමණි.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.