Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදීත් කඩුලු 4 ක පහසු ජයක් අත්කරගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග 5 කින් සමන්විත තරගාවලියේදී 2-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය. ලකුණු 245 ක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකානුවෝ ඕවර 7.1 ක් ඉතිරිව තිබියදීම තමන්ගේ ඉලක්කය කරා අවතීර්ණ වූහ.
දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භයේදීම ඕවර 5 ක් යාමටත් මත්තෙන් උඩපන්දු තුනක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිළිහී ගියේය. එයින් ලද අනුග්‍රහයෙන් උපරිම ප්‍රයෝජන ගත් හසිම් අම්ලා සහ ක්වින්ටින් ඩි කොක් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූහ. පන්දු 84 ක් පමණක් වැය කරමින් පැමිණි සම්බන්ධතාව මත ඉනිම ගොඩනැංවූ දකුණු අප්‍රිකානුවෝ එතැන් සිට කිසිදු අපහසුතාවකින් තොරවම ජයග්‍රහණය අත්කරගත්හ.
අලංකාර පිතිහරඹයක යෙදුණු ක්වින්ටින් ඩි කොක් පන්දු 78 කදී ලකුණු 87 ක් ලබාගනිමින් දකුණු අප්‍රිකානු පිලට ජය මාවත විවර කර දුන්නේය. හසිම් අම්ලා (43) ඩිකොක්ට අගනා සහයක් දුන් අතර නායක ෆෆ් ඩු ප්ලෙසි (49) පිටියෙන් ඉවත්ව යන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම සිටියේ ජයග්‍රහණයට අත පොවන මානයෙනි.
ඉනිමේ සිව්වැනි ඕවරයේදීම කසුන් රාජිතගේ පන්දුවකින් ස්ක්වෙයාර් ලෙග් හි සිටි කුසල් පෙරේරාට ලැබුණු අම්ලාගේ උඩපන්දුව ගිළිහී ගියේය. රාජිතගේ ඊළඟ ඕවරයේදී ක්වින්ටින් ඩි කොක්ගෙන් ලැබුණු තවත් පහසු උඩපන්දුවක් අකිල ධනංජය අතින් ගිළීහී යාමෙන් අනතුරුව වමත් පිතිකරුවා ගැසූ පහරකින් පන්දුව රාජිතයේ අතේ වැදී ඉවත ඇදි ගියේය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පිටියේ පන්දු රැකීම ඇදහිය හැකි තරම් දුර්වල මට්ටමක වූයෙන් පන්දුව කිහිප වතාවක්ම ක්‍රීඩකයන්ගේ දෑත් අතරින් මෙන්ම දෙපා අතරිනුත් රිංගා හතරේ සීමාව වෙත ඇදී ගියේය. හසිම් අම්ලා දවාගත් අකිල ධනංජය උඩපන්දුව රැකගත්තේත් දෙවැනි උත්සාහයේදීය.
මෙම තරගයේදී ශ්‍රී ලාංකිකයන්ට සතුටු වීමට කාරණයක් තිබුණේ නම් ඒ සුරංග ලක්මාල් තමාගේ 100 වැනි එක්දින කඩුල්ල දවාගැනීමත් තිසර පෙරේරා 150 වැනි එක්දින කඩුල්ල දවාගැනීමත් පමණි. එක්දින කඩුලු 150 සීමාව පසුකර ගිය ශ්‍රී ලාංකික පන්දු යවන්නන් අතර තිසර පෙරේරා 9 වැන්නා විය. කෙසේ වෙතත් කෝඩුකාරයන් වූ ප්‍රභාත් ජයසූරිය සහ කසුන් රාජිත දෙදෙනා සිය එක්දින තරග දිවියට සාර්ථක ආරම්භයක් ලබාගත්හ.
නායකත්වයේ බර කරට ගනිමින් ඇන්ජලෝ මැතිව්ස් කළ ඉවසිලිවන්ත පිතිහරඹයත් එක්දින ඉනිම 16 කට පසුව අර්ධ ශතකයක් ලබාගත් නිරෝෂන් දික්වැල්ලගේ ඉනිමත් නිසා හිස් ඔසවා ගැනීමට හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ලකුණු 13 ක් ඇතුළත කඩුලු දෙකක්ම බිම දැමූවද තරගයේ 50 වැනි ඕවරය නිමා වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 244 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියේය.
දෙවැනි කඩුල්ල ලකුණු 13 දී බිඳ වැටුණද නිරෝෂන් දික්වැල්ල සහ කුසල් ජනිත් පෙරේරා එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා පිල වැටී සිටි අසීරු ස්ථානයෙන් ගොඩට ඇද දැමූහ. කුසල් පෙරේරා ලකුණු 12 කට දැවී ගියද එතැන් සිට ඇන්ජලෝ මැතිව්ස්ට එක්වූ දික්වැල්ල දුර්වල පන්දු තෝරා බේරාගෙන පහර දෙමින් සිය අර්ධ ශතකය කරා ගියේය.
මැතිව්ස් තරමක් තැන්පත් ලීලාවෙන් පන්දුවට පහර දුන් නමුත් දික්වැල්ල සුපුරුදු පරිදි අවදානම් පහර කරා යමින් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට තරගයේ පාලනය අතට ගැනීමට අවසර නොදී ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් සිටියේය.
සිය ඉනිම තුළදී පන්දු 78 කට මුහුණ දුන් දික්වැල්ල ඒවායින් 10 ක් හතරේ සීමාව පසුකර යැවීය. දෙදෙනා අතර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 67 සම්බන්ධතාවට වැයවූයේ පන්දු 81 ක් පමණි. දික්වැල්ල පන්දුවට පහර දෙමින් සිටියදී වියාන් මල්ඩර්ගේ පන්දුවක් දකුණු ඇලපතේ වැදීම නිසා බලවත් අපහසුතාවට පත්වූ නමුත් පිතිහරඹය නොකඩවා කරගෙන ගියේය. එහෙත් කඩුලු රැකීමේදී අපහසුතාවට මුහුණ දුන් බැවින් කඩුලු රැකීම කුසල් පෙරේරාට පවරා ක්‍රීඩා පිටියෙන් ඉවතට ගියේය.
දික්වැල්ල පිටියෙන් ඉවත් වීමෙන් පසුව ෂෙහාන් ජයසූරිය සමග එක්වූ නායකයා පස්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. මැදපෙළ පිතිකරුවන් සාර්ථක වීම හේතුවෙන් 3, 4, 5 සහ 6 වැනි කඩුලු සම්බන්ධතා මගින් ලකුණු 184 ක් ශ්‍රී ලංකා පිලට එක්විය.
පන්දු 71 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ නායකයා ඉනිම අවසන් වන තුරුම පිටියේ රැඳී සිටියේ විනාඩි 174 ක් පුරා පන්දු 111 කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 6 ක් පමණක් වුවද ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය මැතිව්ස්ගේ පිතිහරඹයම විය.
කගීසෝ රබාඩා සිය පළමු පන්දු යැවීමේ වාරයේදී ඕවර 4 ක් යවමින් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 18 කට සීමා කරද්දී අනෙක් අන්තයෙන් පන්දු යැවූ ලුන්ගි න්ගිඩි කඩුලු දෙකක් දවාගත්තේ ශ්‍රී ලංකා කඳවුර සසළ කරමිනි. එහෙත් එක දිගට ඕවර 4 ක් යැවූ න්ගිඩි පන්දු යැවීමෙන් ඉවත් වීමත් සමගම ශ්‍රී ලංකා පිතිකරුවෝ නිදහසේ පහර කරා ගියහ.
පිට පිටම දෙවැනි වතාවටත් කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීම තෝරා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායමට නවකයන් දෙදෙනකු එක්ව සිටින අතර ප්‍රභාත් ජයසූරිය සහ කසුන් රාජිත අද තරගයේදී එක්දින හිස්වැස්ම දිනාගත්හ.
පළමු එක්දින තරගයේදී දැඩි ප්‍රහාරයකට ලක්වූ ලක්ෂාන් සඳකැන් වෙනුවට වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය කණ්ඩායමට කැඳවා ඇති අතර තුවාල ලත් ළහිරු කුමාර වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට කැඳවා තිබේ.
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.