Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය ජයගනිති

දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය ජයගනිති

Nisanka Sandeepani - 2018 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු ඕවර 10 ඇතුළත දකුණු අප්‍රිකානුවන්ගෙන් කඩුලු පරෙස්සම් කරගන්න’යි පුහුණුකරුවන් කොතෙකුත් අවවාද කළත් 10 වැනි ඕවර ආරම්භ වීමටත් මත්තෙන් ශ්‍රී ලංකා පිලට කඩුලු 3 ක් අහිමි විය. එයින් ලද පසුබෑම හේතුවෙන් පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ලකුණු 78 ක දරුණු පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

ලකුණු 364 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 45.2 ක් අවසානයේදී ලකුණු 285 කට දැවී ගියේය. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය දකුණු අප්‍රිකානුවන් හමුවේ එක දිගට ලැබූ 11 වැනි පරාජයයි. ඒ සමගම මෙවර එක්දින තරගාවලියේ තරග දෙකක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙසින් ජයගැනීමටද දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

වසරකට පසුව එක්දින පිලට එක්වූ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නිරත වෙමින් සිය හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කළ නමුත් ශ්‍රී ලංකා පිලේ ඉලක්කය ළංවිය නොහැකි තරම් දුරස්ව තිබිණ. සිය පුනරාගමන තරගයේදී පන්දු 66 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවාගේ ලකුණු 84 ට දර්ශනීය හතරේ පහර 8 ක් සහ මනස්කාන්ත හයේ පහර 3 ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා පිතිකරුවන් ධනාත්මක ආරම්භයක් ලබාගත් නමුත් දකුණු අප්‍රිකානුවන්ගේ සැලසුම් සහගත පන්දු යැවීමේත් විශිෂ්ට පන්දු රැකීමේත් සංකලනයෙන් ඉදිව තිබූ බැම්ම කඩාබිඳ දමාගෙන ඉදිරියට යාම අපහසු විය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග පන්දු 22 කදී ලකුණු 20 ක් රැස්කරගත් නමුත් එක්ස්ට්‍රා කවර්ස්හි සිටි විලියම් මල්ඩර්ගේ විශිෂ්ට පන්දු රැකීමකින් දික්වැල්ලගේ ඉනිම නිමා විය.

පිටියට පිවිස මුහුණ දුන් පළමු පන්දුවම හතරේ සීමාවට යැවූ කුසල් ජනිත් පෙරේරා ලකුණු හඹා ගියද සිය පළමු ඕවරයේදීම කුසල්ගේ තර්ජනය අවසන් කරගැනීමට ඇන්ඩිල් පෙලුක්වායෝට හැකිවූයෙන් 10 වැනි ඕවරය නිමා වීමටත් මත්තෙන් ශ්‍රී ලංකා පිලේ සිටින භයානකම පිතිකරුවාගෙන් දකුණු අප්‍රිකානුවෝ ගැලවුණහ.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අපසු ක්‍රීඩාගාරයට යැවූ ලුන්ගිසානි න්ගිඩි පසුව පැමිණ කුසල් මෙන්ඩිස්ට අපූරු උගුලක් අටවමින් ඔහුගේ කඩුල්ල දවාගත් අතර තරගය නිමා කළේ ලකුණු 54 කට කඩුලු 4 ක් දවාගනිමිනි.

පළමුවෙන් පන්දුවට පහර දෙමින්, කඩුලු හතක් අතැතිව තිබියදී, ලකුණු 200 කඩයිම පැනගත් දකුණු අප්‍රිකානුවෝ අවසන් ඕවර 17 දී ලකුණු 160 ක් උදුරා ගත්හ.

ජේ. පී. ඩුමිනි (පන්දු 70 කදී 92) සහ කෝඩුකාර රීසා හෙන්රික්ස් (පන්දු 89 කින් 102) කළ ප්‍රහාරාත්මක පිතිහරඹය නිසා කිසිම අපහසුතාවකින් තොරව ලකුණු 300 සීමාව පසුකර ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවකු තමන්ට කළ හැකි දේ මේ යයි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මැනවින් කියා දුන්නේය.

දකුණු අප්‍රිකානු පිතිකරුවන් සිය ඉනිම පුරා මුහුණ දුන් පන්දු 310 න් (වයිඞ් සහ නිපන්දු සමගින්) පන්දු 33 ක් හතරේ සීමාව පසුකර ගියේය. තවත් පන්දු 8 ක් හතරේ සීමාවට ඉහළින් ගියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් මහත් සේ අසරණ කරමිනි.

සිය මංගල එක්දින තරගයේදීම අලංකාර පිතිහරඹයක යෙදෙමින් ශතකයක් ලබාගත් රීසා හෙන්රික්ස් පළමු එක්දින තරගයේදී ශතකයක් ලබාගත් 14 වැනි පිතිකරුවා මෙන්ම තුන්වැනි දකුණු අප්‍රිකානුවාද විය. කොලින් ඉන්ග්‍රම් සහ ටෙම්බා බවුමා සිය මංගල එක්දින තරගයේදීම ශතක ලබාගත් සෙසු දකුණු අප්‍රිකානුවෝ වෙති.

පන්දු 89 කින් ශතකය සම්පූර්ණ කළ හෙන්රික්ස් ගුවනට පනිමින් සිය සතුට පළකළද ළහිරු කුමාරගේ ඊළඟ පන්දුවේදී දැවී ගියේය. ප්‍රභාත් ජයසූරිගේ පන්දුවක් හමුවේ මිඩි විකට් කලාපයට ඉහළින් අලංකාර හයේ පහරක් ගැසූ හෙන්රික්ස් හතරේ පහර 8 ක්ද සිය ඉනිමට ඇතුළත් කළේ පළපුරුදු පිතිකරුවකුගේ විලාසය මොනවට විදහා පාමිනි.

කාසියේ වාසිය අහිමි වුවද ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පිත්ත අතට ගත් හසිම් අම්ලා අධිවේගී පිතිහරඹයක යෙදෙමින් පන්දු 59 කදී ලකුණු 59 ක් ලබාගත්තේ හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.

58 වැනි පන්දුවේදී අම්ලා දැවී ගිය බව විනිසුරු රවීන්ද්‍ර විමලසිරි මහතා තීරණය කළද එය රූපවාහිනී විනිසුරුවරයාට යොමු කළ අම්ලා සිය කඩුල්ල රැකගත්තේය. එහෙත් තිසර පෙරේරාගේ ඊළඟ පන්දුව අම්ලාගේ පිත්ත පරයමින් ගොස් කඩුලු මත තිබූ බේල දෙකම බිම දැම්මේ ඉරිදා දිනයේ ක්‍රීඩාංගණයට රැස්වෙමින් සිටි නරඹන්නන් අමන්දානන්දයට පත්කරමිනි. අම්ලා ලබාගත් ලකුණු 59 කට හතරේ පහර 9 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.


තරගාවලියේ ප්‍රතිඵල

■    පළමු තරගය  - දකුණු අප්‍රිකානු පිලට කඩුලු 5 ක ජයක්
■    දෙවැනි තරගය  - දකුණු අප්‍රිකානු පිලට කඩුලු 5 ක ජයක්
■    තුන්වැනි තරගය  - දකුණු අප්‍රිකානු පිලට ලකුණු 78 ක ජයක්

 

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තෙවැනි එක්දින තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක

 


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.