Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අප්‍රිකානුවෝ ආධිපත්‍යය පැතිරවීමට සැරසෙති

දකුණු අප්‍රිකානුවෝ ආධිපත්‍යය පැතිරවීමට සැරසෙති

Nisanka Sandeepani - 2019 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගාවලිය ඇරඹෙන අද (13 වැනිදා) සිට නැවත වරක් ක්‍රිකට් පිටියේදී දකුණු අප්‍රිකානුවන්ගේ ආධිපත්‍යය දැකබලා ගැනීම ක්‍රිකට් විචාරකයන්ගේ අපේක්‍ෂාවයි. ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න තත්ත්වයත්, පාකිස්තානු පිලට එරෙහිව දකුණු අප්‍රිකානුවන් දැක්වූ දස්කම් දෙසත් සංසන්දනාත්මකව බැලූ කල්හි විචාරකයන්ගේ අපේක්‍ෂව විමතියට කාරණාවක් නොවේ. 

සති හයක් පුරා දිවෙන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගාවලියේ පළමු තරගය වන ටෙස්ට් තරගය ඩර්බන්හි කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. 

පාකිස්තානු පිලට එරෙහිව පසුගියදා අත්කරගත් 3-0 ක තරගාවලි ජය දකුණු අප්‍රිකානුවන් පිට පිටම සිය මව්බිමේදී අත්පත් කරගන්නා ලද හත්වැනි තරගාවලි ජයග්‍රහණයයි. ටෙස්ට් ලෝකයේ අංක 1 හිමි කණ්ඩායම වන ඉන්දීය පිලට එරෙහිව අත්කරගත් 3-0 ක තරගාවලි ජයක් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට දකුණු අප්‍රිකාවේ කළ සංචාරයේදී ලබාගත් 3-0 ක තරගාවලි ජයක්ද මෙම ජයග්‍රහණ වැලට ඇතුළත් වෙයි. 

දකුණු අප්‍රිකානුවන්ගේ මෙම ආධිපත්‍යය ගොඩනැඟී ඇත්තේ අතිශය භයංකාර වේග පන්දු යවන්නන්ගෙන් සමන්විත පන්දු යැවීමේ බලඇණියක් වටාය. නිව්ලන්ඞ්ස් මෙන්ම ජොහැන්නස්ර්ග්, සෙන්චූරියන් සහ ඊස්ට් ලන්ඩන් යන නගර වල පවතින අධිවේගී තණතීරුද දකුණු අප්‍රිකානුවන්ගේ ක්‍රිකට් බලකොටුව ආරක්‍ෂා කරගැනීම සඳහා කදිම උපාය මාර්ග වෙයි.

කෙසේ වෙතත් පසුගිය වසරේ ජූලි මාසයේදී දකුණු අප්‍රිකානු පිල ශ්‍රී ලංකාවේදී සංචාරය කළ අවස්ථාවේදී නම් දකුණු අප්‍රිකානුවෝ 2-0 කින් ටෙස්ට් තරගාවලිය පරාජය වූහ. ඒ ශ්‍රී ලංකාවේ පවතින ඉතාමත් මන්දගාමී මෙන්ම දඟ කැවෙන සුළු තණතීරු මතදීය. 

පසුගිය ජූලි මාසයේ තරගාවලිය නිමාවේදී දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි කීවේ “ලබන අවුරුද්දේ අපේ දිහාට (දකුණු අප්‍රිකාවට) ආවාම බලාගමුකෝ” යනුවෙනි. 

දකුණු අප්‍රිකාවේ අනෙකුත් ක්‍රීඩාංගණ හා සැසඳීමේදී ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේ තණතීරුව තරමක් මන්දගාමී එකකි. එහි දඟ පන්දු යවන්නනටත් තරමක වාසියක් තිබුණත් මුහුද අද්දර පිහිටි මෙම ක්‍රීඩාංගණය තමන්ගේ අවශ්‍යතාව අනුව හදාගන්නට දකුණු අප්‍රිකානුවෝ දනිති. 

තමන්ගේ සංචිතයට වියාන් මල්ඩර්, ඩුඈන් ඔලිවර්, වර්නන් පිලැන්ඩර්, කගීසෝ රබාඩා සහ ඬේල් ස්ටේන් යන වේග පන්දු යවන්නන් ඇතුළත් කරගෙන ඇත්තේ එබැවිනි. ඇරත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ටේ්‍රලියාවේදී සහ නවසීලන්තයේදී සිදුවූයේ කුමක්ද යන්නත් දකුණු අප්‍රිකානුවෝ දනිති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ජයග්‍රහණය පසුගිය ඔක්තෝබරයේදී එංගලන්ත පිලට එරෙහිව ලබාගත් එක්දින තරග ජයකි. එදා මෙදා තුර ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයක් ලබාගැනීමට අසමත් වී තිබේ. 

“මෙහාට කොයි කණ්ඩායම ආවත් ඒගොල්ලන්ට ඔලුව උස්සන්න අපි ඉඩ තියන්නේ නෑ” යය කේෂව් මහාරාජ් කියයි. 

“අපි ක්‍රීඩා කරන්නේ කාත් එක්කද, ඔවුන්ව සම්පූර්ණයෙන්ම පරාජය කිරීම අපේ එකම අපේක්‍ෂාවයි. මේක අපේ බලකොටුවයි. ඒ නිසා මෙහේදී ක්‍රීඩා කරන කවුරුන් වුණත් ටිකක් පස්සට වෙලා ඉන්න එක නුවණට හුරුයි” යයි ද කේෂව් මහාරාජ් පැවසීය. 

පාකිස්තානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කේෂව් මහාරාජ් අනතුරුව පැවැති තරග වලට ක්‍රීඩා නොකළේය. එතැන් සිට දකුණු අප්‍රිකානුවන්ගේ උපාය වූයේ වේග පන්දු යවන්නන්ගෙන්ම පාකිස්තානු පිල මෙල්ල කිරීමයි. එය සම්පූර්ණයෙන්ම සාර්ථක උපායක් විය. ප්‍රතිඵලය වූයේ 3-0 ක තරගාවලි ජයකි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙක ඩර්බන් සහ පෝර්ට් එළිසබෙත්හි ශාන්ත ජෝර්ජ් උද්‍යන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බැවින් කේෂව් මහාරාජ්ට මෙම තරගාවලියේදී කිසියම් වැඩකොටසත් ලැබෙනු ඇත. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට ක්‍රීඩා කරන්නේ තාවකාලික නායකයකු වන දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේය. කණ්ඩායමේ හිටපු නායකයා වන දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානයත් අහිමි වී ගොසිනි. වෙනදා සංචාරයක තේරීම් කමිටු නිලධාරියකුද වූ චන්දික හතුරුසිංහ මහතා දැන් පුහුණුකරුවා පමණි. 
“අපිත් එක්ක හිටපු ක්‍රීඩකයන් කෙරේ විශ්වාසය තබන්න ඉන්න මට සිද්ධ වෙනවා. මේ වතාවේ නායකයා දිමුත් කරුණාරත්න. ඔහු හොඳ පෙරමුණේ රාළ කෙනෙක් වෙයි” යයි චන්දික හතුරුසිංහ මහතා ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට කියා තිබිණ. 

ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), නිරෝෂන් දික්වැල්ල, ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, සුරංග ලක්මාල්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, මොහොමඞ් ෂිරාස්, ලක්ෂාන් සඳකැන් සහ ලසිත් ඇඹුල්දෙණිය

දකුණු අප්‍රිකානු සංචිතය 
ෆෆ් ඩු ප්ලෙසි (නායක), හසිම් අම්ලා, ටෙම්බා බවුමා, තියුනිස් ඩි බෘයින්, ක්වින්ටින් ඩි’කොක්, ඩීන් එල්ගා, සුබෙයිර් හම්සා, කේෂව් මහරාජ්, ඒඞ්න් මාක්රම්, වියාන් මල්ඩර්, ඩුඈන් ඔලිවර්, වර්නන් පිලැන්ඩර්, කගීසෝ රබාඩා සහ ඬේල් ස්ටේන්

විනිසුරුවරු
අලීම් දාර් (පාකිස්තානය) සහ රිචඞ් කෙට්ල්බරර් (එංගලන්තය) යන මහත්වරු

තරග තීරක
රිචී රිචඞ්සන් මහතා (බ.ඉ.කොදෙව්)


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ ආධිපත්‍යය පැතිරවීමට සැරසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.