Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි

දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි

Nisanka Sandeepani - 2019 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිමින් සත්කාරක දකුණු අප්‍රිකානුවන් පළමු ඉනිමේදී ලකුණු 235 කට සීමා කිරීමට සමත්වූහ. 

නම් දැරූ පිතිකරුවන් එකිනෙකා අසාර්ථක වනවිට ක්වින්ටින් ඩි’කොක් අර්ධ ශතකයක් ලබාගනිමින් දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය. කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ලකුණු 80 ක් රැස්කර සිටි ක්වින්ටින් ඩි’කොක් දැවීයන විට පන්දු 94 කට මුහුණදී සිටි අතර ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය. ක්වින්ටින් ඩි’කොක් ලකුණු 64 ක් රැස්කර සිටියදී ලබාදුන් පහසු උඩපන්දුවක් තර්ඞ්මෑන් කලාපයේ පන්දු රකිමින් සිටි ළහිරු තිරිමාන්න අතින් ගිලිහී ගියේය.

සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ලකුණු 15 ක් රැස්කර සිටි ඬේල් ස්ටේන් දවාගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත්විය.

ක්වින්ටින් ඩි’කොක් සමගින් එක්ව හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 47 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ කේෂව් මහරාජ් ලකුණු 29 ක් රැස්කර සිටියදී විශ්ව ප්‍රනාන්දුගේ තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වීමට ඔහුට සිදුවිය. කසුන් රාජිත යැවූ පන්දුවක් ඉහළට ඇදී ඒම නිසා ඉන් ආරක්‍ෂාවීමට වර්නන් ෆිලැන්ඩර් උත්සහ දැරීමේදී පිත්තේ වැදී ඉහළ නැගි පන්දුව පන්දු යවන්නා විසින්ම රැකගැනීමත් සමගින් ලකුණු 131 කට කඩුලු 6 ක් ලෙස දකුණු අප්‍රිකානු ලකුණු පුවරුවේ සටහන් විය.

ලකුණු 47 ක් රැස්කර සිටි ටෙම්බා බවුමා ඉතා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුව පිටියෙන් ඉවත්වීමට සිදුවිය. විශ්ව ප්‍රනාන්දු යැවූ පන්දුවකට ක්වින්ටින් ඩි’කොක් ගැසූ ඩ්‍රයිව් පහරක් පන්දු යවන්නාගේ පාදයේ වැදී කඩුල්ල වෙත ඇදී ගිය අතර සීමා ඉරෙන් මෙපිට සිටි බවුමා සීමා ඉර වෙත පැන්නද ඒ වනවිටත් පන්දුව කඩුල්ලේ වැදී තිබිණ. 

ටෙම්බා බවුමා සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 72 ක සම්බන්ධතාවයක් පවත්වමින් කඩා වැටුණු දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනගමින් සිටියදී කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් දෙමින් නායක ෆෆ් ඩුප්ලෙසි ලකුණු 35 කට දැවී ගියේය.

දික්වැල්ල පන්දුව රැකගනිමින් උඩපන්දුවක් රැකගත්තේ යැයි ඉල්ලීමක් කළද ප්‍රධාන විනිසුරුවරයා විසින් එය ප්‍රතික්‍ෂේප කළේය. එම තීරණයත් සමගින් සෑහීමකට පත්නොවූ නායක දිමුත් කරුණාරත්න කළින් ඉගෙනගත් පාඩමත් සමගින් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉක්මනින් ඉල්ලා සිටියේය. පුණරූපන නැරඹීමේදී පිත්තේ දාරයේ වැදුණු පන්දුව පාදයේද වැදී කඩුලු රකින්නා වෙත යන ආකාරය දිස්වූ අතර තෙවැනි විනිසුරුවරු විසින් එය දැවී යාමක් ලෙස තීරණය කරන ලදි. 

දකුණු අප්‍රිකානු ලකුණු පුවරුවේ ලකුණු 9 ක් සටහන් වනවිට දෙවැනි කඩුල්ල ලෙස හසීම් අම්ලා ලකුණු 3 කදී පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල් සමත්විය. තණතීරුව මැද කෙටී පැමිණි පන්දුවට පහරක් එල්ල කිරීමට අම්ලා උත්සහ කළ අතර අවසන් මොහොතේ එම තීරණය වෙනස් කරමින් පිත්ත ඉවතට ගැනීමට ඔහු උත්සහ කළද පිත්තේ වැදුණු පන්දුව දෙවැනි ස්ලිප්හී පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් වෙත ඇදී ගියේය. දක්ෂ පන්දු රැකීමක නිරතවූ මෙන්ඩිස් දෑත් දිගුකරමින් ඔහු ඉදිරියෙන් බිම පතිතවීමට ගිය පන්දුව සුරැකිව රැකගනිමින් හසීම් අම්ලාට තෙවැනි වතාවටත් පන්දුවට පහරදීම සඳහා අවස්ථාවක් නොදීමට වගබලා ගත්තේය.

ඩීන් එල්ගා දැවී ගිය දෙවැනි ඕවරයේ අවසන් පන්දුවේදී හසීම් අම්ලා කඩුල්ල මුවා කළේ යැයි ඉල්ලීමක් කළද ප්‍රධාන විනිසුරු අලීම් දාර් විසින් එය ප්‍රතික්‍ෂේප කරන ලදි. නායක දිමුත් කරුණාරත්න ක්‍රීඩකයික් සමගින් සාකච්ඡා කර විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියද ඒ වනවිට ශ්‍රී ලංකා පිලෙන් එම අවස්ථාව ගිලිහී ගොස් තිබුණි. ප්‍රධාන විනිසුරු තීරණය දීමෙන් පසු තත්පර 15 ක් ඇතුළත විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා නොසීටීම ඊට හේතුවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට නායක දිමුත් කරුණාරත්න ගත් තීරණය නිවැරදි යැයි සනාථ කරමින් තරගයේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුල්ලක් දවාගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත්විය. නිරෝෂන් දික්වැල්ලට උඩපන්දුවක් ලබාදෙමින් ඩීන් එල්ගා දැවීයන විට දකුණු අප්‍රිකානුවන් ලකුණු ලබාගැනීම ආරම්භකර නොතිබුණි.

අයහපත් ආලෝක තත්වය හේතුවෙන් පළමු දිනට තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 49 ක් රැස්කර සිටියේය. දිමුත් කරුණාරත්න ලකුණු 28 ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 17 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර දකුණු අප්‍රිකානුවන් පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා තවත් ලකුණු 186 ක් පසුපසින් ශ්‍රී ලංකාව පසුවන්නේය.

පිතිකරු ඕෂධ ප්‍රනාන්දු සහ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය ටෙස්ට් වරම් හිමිකර ගැනීමට අද දින සමත්වූහ


අදහස් (0)

දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.