Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අප්‍රිකාව ලකුණු 170 ක් ඉදිරියෙන්

දකුණු අප්‍රිකාව ලකුණු 170 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය, දෙවැනි දිනය (14 වැනිදා) සඳහා නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 126 ක් ලබා සිටියේය.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම තවත් කඩුලු 6 ක් ඇතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 170 ක් ඉදිරියෙන් සිටියි. දෙවැනි දිනය තරගය නතර කරන විට නායක ෆෆ් ඩුප්ලෙසි ලකුණු 25 ක්ද, ක්වින්ටින් ඩි’කොක් ලකුණු 15 ක්ද ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 31 කි.

තරමක් වේගයෙන් ලකුණු රැස්කළ ඒඞ්න් මාක්‍රම් හතරේ පහර 3 ක් සමග ලකුණු 28 ක් ලබා සිටියදී කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේය. තෙවැනි පිතිකරු ලෙස පන්දුවට පහරදීමට පැමිණි හෂීම් අම්ලාට වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට කසුන් රාජිත ඉඩක් නොදුන් අතර ගලීහි පන්දු රකිමින් සිටි ළහිරු තිරිමාන්න අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට අම්ලා ලබා සිටියේ ලකුණු 16 ක් පමණි.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය, වේග පන්දු යවන්නන්ට වාසි දායක තණතීරුවක පවා දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඩීන් එල්ගා (35) සහ ටෙම්බා බවුමා (3) දවාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 95 කට කඩුලු 4 ක් ලෙස අසීරු තත්වයකට ඇද දැමුවේය.

තේ පානය සඳහා නතර කිරීමට මඳ වේලාවකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 191 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඬේල් ස්ටේන් ලකුණු 48 කට කඩුලු 4 ක් දවාගත් අතර වර්නන් පිලැන්දර් සහ කගිසෝ රබාඩා කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ස්ටේන්ට අනගි සහායක් දුන්හ.

දකුණු අප්‍රිකානුවන් සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 235 ට පිළිතුරු සොයා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (13 වැනිදා) සවස පළමු දිනය සඳහා තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 49 ක් ලබා සිටියේය.

එහෙත් අද පෙරවරුවේදී ඕෂධ ප්‍රනාන්දු ලකුණු 19 කට දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ කඩාවැටීම ඇරඹිණ.
ඬේල් ස්ටේන්ගේ පන්දුවක් ඕෂධගේ පා ආවරණයේ වැදීමත් සමගම පන්දු යවන්නාගේ ඉල්ලීමට ප්‍රධාන විනිසුරු අලීම් දාර් මහතාගේ අනුමැතිය ලැබිණ. විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය අනුව ඒ ගැන විමසන්නද’යි සිය නායකයාගෙන් ඇසූ ඕෂධට ලැබුණු උපදේශය වූයේ එයින් පලක් නොවන බවයි. ඕෂධ නිහඬවම ආපසු ක්‍රීඩාගාරයට යන අතරේ රූපවාහිනී ප්‍රතිදර්ශන වලින් දැකගත හැකි වූයේ පන්දුව කඩුල්ලේ නොවැදී පා ඉන්න පසුකර යන බවකි.

එයින් ලකුණු 2 කට පසුව වර්නන් පිලැන්දර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් නායක දිමුත් කරුණාරත්නද ලකුණු 30 කට දැවී ගියේය. එහිදී විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය ලබාගැනීමට දිමුත් පියවර ගත්තද, තෙවැනි විනිසුරුවරයාද ප්‍රධාන විනිසුරුවරයාගේ තීරණයට එකඟ වීම නිසා ඔහුට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

ලකුණු 14 ක් ඇතුළතදී කුසල් මෙන්ඩිස් (12) සහ නිරෝෂන් දික්වැල්ල (8) දෙදෙනාත් දැවී ගිය හෙයින් 90 වැනි ලකුණ පුවරුවේ තිබියදීම ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ලත් ඇද වැටිණ. එතැන් පටන් ධනංජය ද සිල්වා (23) සමග එක්ව 6 වැනි කඩුල්ල සඳහා සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමට කුසල් පෙරේරා (51) සමත් විය.

ධනංජයගේ හුක් පහරක් වැරදී යාමෙන් එම සම්බන්ධතාව ලකුණු 43 කට සීමා වූ අතර අද දිනයේදී සිය 5 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් කුසල් පෙරේරා හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් එය අලංකාර කළේය. ධනංජය ලකුණු රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 152 ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවකු ලෙස හැඳින්විය හැකි අවසන් ක්‍රීඩකයා ලෙස කුසල් පෙරේරාද පිටියෙන් ඉවත්ව ගියේය. එහෙත් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ලසිත් ඇඹුල්දෙණිය, ලකුණු 24 ක් රැස්කරමින් පසුපෙළ පිතිකරුවන් සමග එක්ව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව ආසන්නයටම රැගෙන ආවේය.

 

 

- 036


අදහස් (0)

දකුණු අප්‍රිකාව ලකුණු 170 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.