Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දඟ පන්දු යවන්නන්ගේ භූමිකාව තීරණාත්මකයි

දඟ පන්දු යවන්නන්ගේ භූමිකාව තීරණාත්මකයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී කඩුලු 9 ක් දැවී ලකුණු 713 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද, තරගයෙන් අනතුරුව ඔවුහු තරගය පැවැති චිතගොන් තණතීරුව සම්බන්ධයෙන් මැසිවිලි නැගූහ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පැවසූවේ අවසන් වූ ටෙස්ට් තරගය ගැන කතා කිරීමෙන් පලක් නැති බවත්, එම තරගයේදී ලකුණු අතරට පැමිණි බංග්ලාදේශ පිතිකරුවන්ගේ දුර්වලතා පිළිබඳව අධ්‍යනය කිරීමකින් පසුව තමන් ඇතුලු කණ්ඩායම ඩාකාහිදී හෙට (8 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට පිවිසෙන බවත්ය.

වැඩි දුරටත් අදහස් දැක්වූ චන්දිමාල් කියා සිටියේ බංග්ලාදේශය තුළ දඟ පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක තණතීරු මත බංග්ලාදේශ කණ්ඩායම පරාජය කිරීම ඉතා අසීරු අභියෝගයක් වුවත්, කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුළ ක්‍රීඩකයන්ගේ සහයෝගය ඇතිව එම අභියෝගය ජයගැනීමට තමන් සූදානමින් සිටින බවයි.

චයිනමන් පන්දුයවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන්ද දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බව කී චන්දිමාල්, එසේ වුවහොත් රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා සමගින් සඳකැන්ගේ එක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වාසි අත්කර දෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

“මේ තණතීරුව දෙස බලනකොට තේරෙනවා තරගයේ ජය පැරදුමක් තියේවි කියලා. මේක හුගක් වියලි තණතීරුවක්. මෙය දඟ පන්දු යවන්නන්ට හුගක් වාසිදායක වේවි. ඒ වගේම මේ තණතීරුවේ පන්දුවට පහරදීම කණ්ඩායම් දෙකටම ලොකු අභියෝගයක් වේවි.”

“බංග්ලාදේශය හුගක් හොඳ කණ්ඩායමක්. විශේෂයෙන්ම ඔවුන්ගේ රට තුළදි. ඩකා ක්‍රීඩාංගණයේදීත් ඔවුන් කැපී පෙනෙක දක්ෂතා දක්වලා තියෙනවා. ඒ නිසා අපිට ඔවුන්ව තේරුම් ගන්න ටිකක් අමාරු වෙයි.” යයිද චන්දිමාල් පැවසීය.

තණතීරුව දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය වුවහොත් එය තවත් අතකින් බංග්ලාදේශයට අවාසිදායක ලෙසින්ද බලපෑ හැක්කේ සකිබ් අල් හසන් බංග්ලාදේශ පිලට ක්‍රීඩා නොකරන බැවිනි. වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයකු වන සකිබ් අල් හසන් ලෝකයේ සිටින ඉතාමත් දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වෙයි.

“එක්දින කණ්ඩායමේ වගේ නෙමෙයි අපේ ටෙස්ට් කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒක අපිට ලොකු හයියක්. ඒත් මේ තරගය ජයගැනීම පහසු වෙයි කියලා මම හිතන්නේ නෑ.”
“තරගයේදී එක් එක් තත්ත්වයන් වලට සහ එක් එක් ක්‍රීඩකයන්ට වෙනස් විධියේ උපක්‍රම භාවිතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද චන්දිමාල් පැවසීය.

මේ අතර දෙවැනි ටෙස්ට් තරගය ජයගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරගාවලි ජය වාර්තා කිරීමට තමන් ඇතුලු කණ්ඩායම සූදානමින් සිටින බව බංග්ලාදේශ කණ්ඩායමේ තාවකාලික නායක මහමදුල්ලා රියාද් පවසා සිටියේය. පිතිකරුවන්ට වඩාත් වාසිදායක වූ චිතගොන් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමෙන් අනතුරුව රියාද් එසේ පැවසීය.

දෙවැනි ඉනිමේ ලකුණු 81 කට කඩුලු 3 ක් බිඳ වැටී සිය කණ්ඩායම අසීරු තත්ත්වයකට පත්ව තිබියදීත්, සාර්ථක සම්බන්ධතා ගොඩනගමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට හැකි වීමත් සමග ක්‍රීඩකයන්ගේ මානසික ශක්තිය ඉහළ ගොස් ඇති බවද එහිදී ඔහු පැවසීය.

මහමදුල්ලා, කියා සිටියේ තම කණ්ඩායම මවු රට තුළත් වඩාත් දක්ෂ ලෙස ක්‍රීඩා කරන බැවින් දෙවැනි ටෙස්ට් තරගය ජයගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉතිහාසගත තරගාවලි ජයක් ලැබීමට සූදානමින් පසුවන බවයි.
“පළමු ටෙස්ට් තරගයේදී බැරෑරුම් තත්ත්වයකින් මිදෙන්න අපිට පුළුවන් වුණා. ඒ නිසා දෙවැනි ටෙස්ට් තරගය ජය ගන්න අපිට ලොකු අවස්ථාවක තියෙනවා කියලා මට හිතෙනවා.”

“විශේෂයෙන්ම අපේ රට තුළදී අපේ කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා මම හිතනවා. ඒ නිසා චිතගොන් වලදී වගේම ඩකා වලදීත් අපිට වඩාත් වාසි දායක තත්ත්වයක් උදාවේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.” යැයිද මහමදුල්ලා කියා සිටියේය.

2014 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 3-0 ක ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම මේ දක්වා කිසිදු කණ්ඩායමකට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයගෙන නොමැත. ඉකුත් වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේ එක් තරගයකදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට ඔවුන් සමත් වුවත්, එම තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීමත් සමග තරගාවලිය සම තත්ත්වයට පත්විය.

 

ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ළහිරු ගමගේ සහ ළහිරු කුමාර

බංග්ලාදේශ සංචිතය
මහමදුල්ලා රියාද් (නායක), ටමීම් ඉක්බාල්, ලිටන් දාස්, මුෂ්ෆිකුර් රහීම්, මොමිනුල් හක්, ඉම්රුල් කේයිස්, මොසඩක් හොසේන්, තයිජුල් ඉස්ලාම්, මුස්ටෆිසුර් රෙහ්මාන්, මෙහෙදි හසන්, කම්රුල් ඉස්ලාම්, ශබීර් රහමන්, අබ්දුර් රසාක්, නයීම් හසන් සහ තන්බීර් හයිදර්

 

- 036


අදහස් (0)

දඟ පන්දු යවන්නන්ගේ භූමිකාව තීරණාත්මකයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.